ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

නුඹ වෙනුවෙන් වැටෙන කඳුලු තවමත් තෙතයි....

            අදට හරියටම අවුරුදු දෙකයි මල්ලියේ. ඒත් හැමදෙයක්ම හිනයක් වගේ. කවදාවත් බලාපොරොත්තු නොවුන දෙයක් ඒ විදියට කොහොම සිද්ද වුනාද? උඹ ඒ විදියට මාත් එක්ක එදා ගෙදරින් පිටවෙලා ආවේ ගෙයින් එලියට යන අවසාන වතාව කියල දැනුන නම් මං කවදාවත් ඒ ගමන එක්කගෙන යන්නේ නෑ. කවදාවත් නැතුව අම්මට කියල බත් කවාගත්තෙ...  හැම දෙයක්ම ස්ථිර නෑ කියල අම්මට උදේ පාන්දරම කියල වැඳල මාත් එක්ක ගෙදරින් පිටත් වුන උඹ ආයේ ගෙදර එන්නෙ නෑ කියල උඹටම දැනුනද මගෙ මල්ලියේ?
           මගේ යාලුවෙක් වෙනුවෙන් උදව් කරන්න උඹ ගිය ඒ ගමන උඹේ අවසන් ගමන කියල අපි කාටවත් යන්තම් හරි දැනුනනම් උඹ තාමත් අපි එක්ක. ඒත් අපේ අවාසනවාට අද අපි තනිවෙලා. "ඉක්මණින් ගිහිල්ල එන්නම් අයියෙ" කියල යන්න පිටත් වෙලා ආපහු හැරිල මගේ දිහා බලල උඹ ඒ යන්නම ගියේ අන්තිම වතාවට කියල ඇයි කාටවත් මට කියල දෙන්න බැරි වුණේ. මම යන්න හදපු ගමන මම වෙනුවට උඹ ගියේ යන්නම යන්න කියල උඹ දැනන් හිටියද මල්ලියේ? අකාරුණික හදවත් ඇති මිනිසුන්ගෙ නොසැලකිල්ලෙන් අන්තිමට උඹ ජීවිතෙන් වන්දි ගෙවුවා. හැමදාකම ඔය මූණෙ පිරිල තිබුණු හිනාව ඒ විදියට අතරමගදි පරවෙලා ගියේ අනිත්‍ය නිසා කියල හැමෝම කිවුවට එහෙම වුනේ ඇයි කියල මං හිත හදාගන්නෙ කොහොමද මගේ මල්ලියෙ?
           මගේ මිනියට කර තියන්න හිටපු උඹේ මිනියට කරගහන්න මට සිද්ද වුනේ අපි හැමෝම එකතු වෙලා කරගත්ත පවකට වෙන්න ඇති. පුංචි කාලෙ ඉඳන් අයියේ අයියේ කිය කිය මගේ පස්සෙන් දැවටිලා හිටපු උඹේ ලස්සන මූන ඒ විදියට පොඩිවෙලා තියෙනව දකින්න තරම් අයිය කෙනෙක් අවාසනාවන්ත වුනේ ඒ පව නිසා වෙන්න ඇති. අපිව දාලා ගිය දවසේ උඹ වෙනුවෙන් අඬපු නැති මුහුණක් කවුරුත් දැක්කේ නෑ. හැමෝම එක්ක මමත් හදවතින් හඬා වැටුණා. පස්සෙන් පහුවෙද්දි  මං අඬපු කඳුලු සමහර අයට විහිලුවක් වුනත් උඹ නැති පාලුව මකන්න ආයේ කාටවත් බෑ කියල මං වගේම උනුත් දැනගෙන ඉන්න ඇති. උන්ට මගේ කඳුලු මකන්න බැරි වුණේ ඒ නිසා වෙන්න ඇති.
         උඹ ආයෙ කවදාවත් මේ භවයෙදි අපි අතරට එන්නෙ නෑ කියල හිත හදාගන්න අපි හැමෝම උත්සහ කලත් හැම වෙලාවෙම ඒ උත්සහය පරදින්නෙ අතීතය ලේසියෙන් මරල දාන්න බැරි කමේ වරදටද, එහෙමත් නැත්තම් උඹ නැති කමින් පාලුවෙලා තියෙන අපේ ජීවිත වල දැනෙන හිස්බව නිසාද කියල තාමත් හිතාගන්න බෑ. 
ඒත් මගේ මල්ලියේ, 
                             කඳුලු තාමත් තෙතයි!!!!
(උඹයි මමයි හැමදාමත් පැතුව වගේ මේ අම්ම තාත්තගේම දරුවො වෙලා අපි අයෙත් හමුවෙමු.)

ඩෙනිම.. දුප්පත් පෝසත් ඔබට මට අපි හැමටම....


ලොකු ලොකු අය ඔඩෙල් එකෙන්

අපි ගන්නෙ ටවුමෙ කඩෙන්‍

පොඩි මිනිහට පිටකොටුවෙන්

දුප්පතාට පෝසතාට - කාට වුනත් නෑ වෙනසක්.... 

පාට පාට වැඩ අල්ලල- ඒහෙන් මෙහෙන් කෑලි දාලා

ගැහැණු ළමෝ හිරට අඳී- කොල්ලො මාස ගණන් අඳී

කවුරු කොහොම ඇන්දත් මෙහි - අගය කියා නිම නොවෙතී...

ඉස්කෝලෙ කාලෙ ආදරේ......

කඳුලු පිරී නෙතු පියන් සැලේ
හද රිදුම් දෙයි වේදනා....
ලතැවුල් මැවේ අද මේ මාවතේ
කිමද මා තනිවී.......


සමනල් සිහින දුටුවා එදා
දුර ඈත පාසල් වියේ පෙරදා....
පියමැන ගියා මතකයි
සිහිනෙන් වගේ....


මල් සුවඳ පිරි මා පැතූ ලෝකේ
විසුණුව ගියේ සදහට....
නුඹ කෙරේ බැඳි සෙනෙහේ මගේ
කඳුලක් වෙලා....