ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

නුඹ වෙනුවෙන් වැටෙන කඳුලු තවමත් තෙතයි....

            අදට හරියටම අවුරුදු දෙකයි මල්ලියේ. ඒත් හැමදෙයක්ම හිනයක් වගේ. කවදාවත් බලාපොරොත්තු නොවුන දෙයක් ඒ විදියට කොහොම සිද්ද වුනාද? උඹ ඒ විදියට මාත් එක්ක එදා ගෙදරින් පිටවෙලා ආවේ ගෙයින් එලියට යන අවසාන වතාව කියල දැනුන නම් මං කවදාවත් ඒ ගමන එක්කගෙන යන්නේ නෑ. කවදාවත් නැතුව අම්මට කියල බත් කවාගත්තෙ...  හැම දෙයක්ම ස්ථිර නෑ කියල අම්මට උදේ පාන්දරම කියල වැඳල මාත් එක්ක ගෙදරින් පිටත් වුන උඹ ආයේ ගෙදර එන්නෙ නෑ කියල උඹටම දැනුනද මගෙ මල්ලියේ?
           මගේ යාලුවෙක් වෙනුවෙන් උදව් කරන්න උඹ ගිය ඒ ගමන උඹේ අවසන් ගමන කියල අපි කාටවත් යන්තම් හරි දැනුනනම් උඹ තාමත් අපි එක්ක. ඒත් අපේ අවාසනවාට අද අපි තනිවෙලා. "ඉක්මණින් ගිහිල්ල එන්නම් අයියෙ" කියල යන්න පිටත් වෙලා ආපහු හැරිල මගේ දිහා බලල උඹ ඒ යන්නම ගියේ අන්තිම වතාවට කියල ඇයි කාටවත් මට කියල දෙන්න බැරි වුණේ. මම යන්න හදපු ගමන මම වෙනුවට උඹ ගියේ යන්නම යන්න කියල උඹ දැනන් හිටියද මල්ලියේ? අකාරුණික හදවත් ඇති මිනිසුන්ගෙ නොසැලකිල්ලෙන් අන්තිමට උඹ ජීවිතෙන් වන්දි ගෙවුවා. හැමදාකම ඔය මූණෙ පිරිල තිබුණු හිනාව ඒ විදියට අතරමගදි පරවෙලා ගියේ අනිත්‍ය නිසා කියල හැමෝම කිවුවට එහෙම වුනේ ඇයි කියල මං හිත හදාගන්නෙ කොහොමද මගේ මල්ලියෙ?
           මගේ මිනියට කර තියන්න හිටපු උඹේ මිනියට කරගහන්න මට සිද්ද වුනේ අපි හැමෝම එකතු වෙලා කරගත්ත පවකට වෙන්න ඇති. පුංචි කාලෙ ඉඳන් අයියේ අයියේ කිය කිය මගේ පස්සෙන් දැවටිලා හිටපු උඹේ ලස්සන මූන ඒ විදියට පොඩිවෙලා තියෙනව දකින්න තරම් අයිය කෙනෙක් අවාසනාවන්ත වුනේ ඒ පව නිසා වෙන්න ඇති. අපිව දාලා ගිය දවසේ උඹ වෙනුවෙන් අඬපු නැති මුහුණක් කවුරුත් දැක්කේ නෑ. හැමෝම එක්ක මමත් හදවතින් හඬා වැටුණා. පස්සෙන් පහුවෙද්දි  මං අඬපු කඳුලු සමහර අයට විහිලුවක් වුනත් උඹ නැති පාලුව මකන්න ආයේ කාටවත් බෑ කියල මං වගේම උනුත් දැනගෙන ඉන්න ඇති. උන්ට මගේ කඳුලු මකන්න බැරි වුණේ ඒ නිසා වෙන්න ඇති.
         උඹ ආයෙ කවදාවත් මේ භවයෙදි අපි අතරට එන්නෙ නෑ කියල හිත හදාගන්න අපි හැමෝම උත්සහ කලත් හැම වෙලාවෙම ඒ උත්සහය පරදින්නෙ අතීතය ලේසියෙන් මරල දාන්න බැරි කමේ වරදටද, එහෙමත් නැත්තම් උඹ නැති කමින් පාලුවෙලා තියෙන අපේ ජීවිත වල දැනෙන හිස්බව නිසාද කියල තාමත් හිතාගන්න බෑ. 
ඒත් මගේ මල්ලියේ, 
                             කඳුලු තාමත් තෙතයි!!!!
(උඹයි මමයි හැමදාමත් පැතුව වගේ මේ අම්ම තාත්තගේම දරුවො වෙලා අපි අයෙත් හමුවෙමු.)

15 ඔබගේ අදහස..:

අපිටත් ගොඩක් දුකයි වුන දේ ගැන, ඒත් ඒ දේ අපි හැමෝටම පොදු දෙයක් කියලා තේරුම් අරන් හිත හදා ගමු මචං, ඊයේ පෙරේදා වුන සිද්ධිය(පනා )වුනත් ඒ දේ ලොකුවටම අපට කියලා දෙනවා ව්ගේ කියලයි මටනම් හිතෙන්නේ...

 

මේක කියවද්දී මගේ ඇස් වලටත් කඳුළු ආවා.. මොකක් ද බං සීන් එක......?

 

ඔබේ සහෝදරයාට .. අජරාමර නිවන් සුව පතනවා සහෝ..

 

nthng 2 zay ayya..im alzo in a zame condition..:)
bt im alwayz in happy

 

මල්ලි ඔයා‍ගේම කෙනෙක් වෙලා ළගටම වෙලා ආදරෙන් ඉන්දී...මගේ අයියා දුක් වෙන්න එපා.

 

අවුරුදු ‍දෙකකුත් ‍වෙනවද අයියා.......
‍මොනවා කරන්නද අයියා. අයියා බලා‍පො‍රොත්තු ‍වෙනවා ව‍ගේම අයියා ළඟ අයිය‍ගෙම දරු‍වෙක් ‍වෙලා හරි එයා ඒවි. දුක් ‍වෙන්න එපා අයියා.......

 

ජීවිතේ තණ අග රැදුනු පිණි බිඳුවක් වගේ කියලා කවුදෝ කියලා තියෙන්නෙ නිකම් නෙවෙයි මචන්. අපිට කවද කොහොම කොයි විදියට යන්න වෙයිද කියලා කාටවත්ම කියන්න බෑ. ධෛරමත් වෙයන්. ලොක දහමින් කම්පා වෙලා පලක් නැහැ. එයා වෙනුවෙන් උඹට කරන්න පුලුවන් යමක් තියෙනම් ඒක ඉශ්ට කරපන්. එයා ඉක්මනින් ගියාට එයා හුඟක් වාසනාවන්තයි. මොකද හිටපු ටික කාලෙ උඹ වගේ අයියා කෙනෙක්ගෙ ආදරය සෙනෙහස අතරේ ජීවත් වෙන්න ලැබිලා තියෙනවා.

 

කනගාටුයි අහන්න වුන දේ ගැන මල්ලි...
දුක් නම් තමයි.
ඒත් අපිත් ඉන්නව ගෙහාන් මල්ලි, සහෝදර සහෝදරියො හෑටියට ඔයා වටේ..
ඕනෙ දේකට...
හෑර ගිය ඒ මල්ලියාට නිවන් සුව පතනවා !

 

ow aiye jeevethe hati ohoma thama.mage puusa nathi vechcha duka mata meeka balala adukaraganna puluvan una.

 

අඩේ මොකද්ද බන් සීන් එක? ගොඩක් අවුල් උනා මේක කියවලා

 

තවත් කෙනෙකුගෙ නොසැලකිල්ලෙන් සිදුවුනු රිය අනතුරක්..

 

සිරාවට දුකයි බං.. තමුන්ගේ කෙනෙක් නැති උනාම ඇතිවෙන දුක කියන්න ඕනා නැ..
මල්ලිට නිවන් සුව පතනවා..

 

මල්ලියාට නිවන් සුව පතනවා...!! මාත් හෙනට අවුල් උනා මේ පෝස්ට් 1 දැකල... :( මට හිතුනෙ හැමදාම මම බනින මම එපා කියන සහෝදරයා නැතුව කොහොමද බන් තප්පරයක් වත් එන්නෙ කියලා මට මේ පෝස්ට් 1 කියෙව්වම නිකන් පිටස්තර ලෝකෙක අතරමන් උනාවගේ හැඟීමක් ආවා.....අනේ මන්දා බන් හිතේ තියෙන දේවල් වචන වලට පෙරළෙන්නෙත් නෑ වගේ .....

 

වචනවලින් දුක තුනී කරන්න පුළුවන් නම් කොච්චර හොඳද ? දුක් වෙන්න එපා කියල මන් කියන්නේ නෑ.. ඒ මොකද දුක් වෙනවා කියන්නේ ආදරය පෙන්නන එකයි.. අන්තිමට හීනෙන් ගා සුවඳක් වගේ සොඳුරු මතකයක් වෙලා හදවත පතුලේ තැන්පත් වෙනකන් ..

 

අපේ අයියට මට තියෙන ආදරය තවත් වැඩි වුණා අයියේ මේක කියවල.ඇත්තටම මට කණගාටුයි..

 

Post a Comment