ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

නව වසරට සුභ පැතුම්..



ඉතින් ඔන්න හිතවතුනි 2010 වසරෙ ලියන අවසාන ලිපිය. මේ පහුගිය වසර දිහා අපසු හැරිලා බලද්දී මටනම් සතුටු වෙන්න කාරණාවන් කිහිපයක්ම තිබෙනවා.  ඉතින් ඉටුකරගත්තු පැතුම් වගේම ඉටුකරගන්න තියෙන බලාපොරොත්තු සේරමත් අරගෙන 2010 වසරෙන් උදාවන අවුරුද්දට පිවිසෙන්න බලාගෙන ඉන්න හිත මිතුරු බ්ලොග් මිතුරු මිතුරියන් හැම දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පතන්නම්. එහෙනම් අලුත් අවුරුද්දෙදි නැවත හමුවෙමු.


හෙටින් උදාවන 2011 නව වසර ඔබ සැමට සුභම සුභ අලුත්  අවුරුද්දක් වේවා!!!!

..ChAnDiKa..
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

මේ පාරත් සිරීපාදේ යනවද? ~ උතුම් ශ්‍රීපාද වන්දනා සමය අදින් ඇරඹෙයි......


යං නමමදාය නදියා.. පුලිනෙච තිරෙ..
යං සචඡබදධ ගිරිකෙ.. සුමනා චලගගෙ..
යං තථථ යොනක පුරෙ.. මුනිනොච පාදං..
තං පාදලාංඡන මහං.. සිරසා නමාමි..

    ලොවුතුරා බුදු හිමියන්ගේ උතුම් සිරිපා පතුල පිහිටා ඇති අති පූජනීය සිරිපා වන්දනා සමය අදින් ඇරඹුණි. සිරිපා පතුල පිහිටා මෙලොව ස්ථාන හතරක පිහිටුවන ලද බවට ඉහත සඳහන් කරන ලද ගාථා පාඨයේ සටහන් වන ආකාරයට අපි දනිමු. එහි සඳහන් අනෙක් ස්ථාන තුනටම වඩා අතිශයින් ජනප්‍රසාදයක් නිතැතින්ම හිමි කරගනුයේ ශ්‍රී ලංකාවේ සුන්දර කඳුකරයේ සමනළ පර්වතය මත පිහිටුවා ඇති සිරිපතුල බව අමුතුවෙන් කිව යුතු නැත. 

    සෑම වසරකදීම වන්දනා සමය එළඹෙත්ම දෙස් විදෙස් බොහෝ වන්දනා කරුවන් ප්‍රමාණයක් සිරිපා කරුණාකිරීමට පැමිණෙන වග ඔබ අප කවුරැත් දන්නා කරැණකි. ඉතා පහසුවෙන් ලඟා විය හැකි හැටන් නල්ලතන්නි මාර්ගය ඔස්සේ මෙන්ම තරමක් දුෂ්කර වුවත් රත්නපුර සිරිපාගම මාර්ගය ඔස්සේ මෙන්ම කුරැවිට මාර්ගය ඔස්සේද සිරිපා කරැණා කරන්නට පැමිණෙන පිරිසනම් ලක්ෂ ගණනක් ඉක්මවයි. බෞද්ධ පමණක් නොව ක්‍රිස්තියානී, මුස්ලිම්, හින්දු ආදී වෙනත් ආගමික පිරිස් ද මේ උතුම් වන්දනා සමයේදී සිරිපා කරැණා කරති. අතරමගදී එසේ හමුවන වන්දනා නඩ අතර හුවමාරුවන සුභ පැතුම් වැකි ආශිර්වාද නිමක් නැත. අවට සොබා සුන්දරත්වය විඳිමින් යන මෙම ගමන නම් අතිශයින්ම සුන්දර අත් දැකීමක් වන්නේය.

    මේ මාද මේ වන විට දහ වතාවකට වැඩි වාරගණනක් සිරිපා කරුණා කර ඇත්තෙමි. පහකට වැඩි කෝඩු කරැවන් ප්‍රමාණයක් වරින් වර මෙම ගමන් වලදී සහභාගි කරවාගෙ ඇත්තෙමි. ඒ සෑම ගමනකදීම මා සමග සිටි මගේ එකකුස උපන් සොයුරාගේ වියෝව නිසා පසුගිය දෙවසරම මා සිරිපා කරැණා නොකළෙමි. ඒ අන් කිසිවක් නිසා නොව මිය යාමට පෙර කෙසේ හෝ සිය වතාවක් සිරිපා කරුණා කල යුතු බවට ඔහුත් මමත් ගෙන තිබූ බලාපොරොත්තු අතරමගදී අත් හැර දමා ඔහු මා හැර ගිය නිසා ඔහු නැතිව සිරිපා කරුණා කිරීමට මා සිත දිරි නොවු බැවිනි. ඒ කෙසේ වුවද මෙවර සිට නැවතත් සිරිපා කරුණා කිරීමට මාගේ බලාපොරොත්තුව ඔහුගේ පැතුම මා ඔහු වෙනුවෙන් තනිවම හෝ ඉටු කල යුතුයි යන්න මසිත මට බල කල බැවිනි.

    මේ සටහන ලිවීමට මට සිත් යොමු වුයේ මාගේ ශ්‍රී පාද අත්දැකීම් පැවසීමට නොව වෙනත් කාරණාවක් උදෙසායි. 

    වර්තමානයේදි බොහො දෙනෙකු සිරිපා ගමන වන්දනාවකටත් වඩා සලකන්නේ විනෝද ගමනක් ලෙසටය. විනෝද වූවාට කම් නැත. එහෙත් එහි යම් සීමාවක් තිබිය යුතුය. මක් නිසාද යත් මේ යන්නේ ලොව උතුම් පූජනීය ස්ථානයකට බැවිනි. පූජනීය ස්ථානයකදී හැසිරීම කල යුතු ආකාරය බොහෝ දෙනා නොදන්නේද, එසේත් නැතිනම් නොදන්නා සේ හැසිරෙන්නේද යන්න ගැටලුවකි. බොහෝ දෙනෙකුට ඒ තමන් එන්නේ කොහේටද යන බවවත් අමතක බව පෙනේ.

    ඇතැම් පිරිමින් පැමිණෙනුයේ බීමතිනි. එක්කෝ රැගෙන විත් පානය කරයි. අවදානයේ බෝතල් බිඳ දමා කැබලි දසත විසුරුවා දමයි. අවසානයේ කරදරයට පත්ව වනුයේ තවත් අසරන වන්දනාකරුවෙක්මය. තවත් පිරිසක් එසේ බීගෙන පැමිණෙන අනෙක් අයටද හිසරදයක් සේ හැසිරෙයි. තරැණියන්ට නොයෙකුත් අසභ්‍ය විහිලු කරමින් මහා ජුගුප්සාජනක හැසිරීමක යෙදෙයි. අසභ්‍ය සින්දු කියයි.
වරක් උතුම් ශ්‍රීපාද මලුවේ විශ්‍රාම ශාලාව තුලදී  වන්දනාකරැවන් පිරිසක් ගී ගයමින් විනෝද වන අයුරැ 
මා හට දකින්නට ලැබුණි. 

    මීලඟ චෝදනාව එල්ල වන්නේ කාන්තා පාර්ශවයටයි.(සියල්ලන්ටම මෙය අදාල නොවේ. නිවැරදි අය කමත්වා) වැඩි වශයෙන් මේ චෝදනාවට ලක් වනුයේ තරුණ කාන්තා කොට්ඨාශයයි. බොහෝ දෙනෙකුගේ ඇඳුම් ආයිත්තම් නම් එවන් උතුම් පුද බිමකට කෙසේ වත් නොගැලපෙන අසික්කිත ඒවාය.(නැවත කියමි. බහුතරය නොවේ). විලාසිතා සංදර්ශනයකට ඔබින පරිදි හැදීම මෙවන් ගමනකට කෙසේවත් උචිත නොවේ. කලිසමක් හැඳ පැමිණිම කිසිදු ගැටලුවක් නැත. මක් කිසාද යත් එය ඔවුන්ට වඩාත්ම ආරක්ෂිත ඇඳුම බැව් පුද්ගලිකව මාද පිලිගන්නා මතය බැවිනි. නමුත් ගැටලුව ඇත්තේ ඇතැම් තරුණියන්ගේ කලිසම් ඇන්දද පෙනෙන්නේ කිසිදු ඇදුමක් ඇඳ නැති සේය. එක්කෝ දනිස්සටත් උඩට ඇදි කොට කලිසමකි. තමන්ගේ විලි වසා ගැනීමටවත් ඇතැමුන්ට වුවමනවක් නැති හැටියකි. මේ ගැන මෙතනින් එහාට කතා කිරීමෙන් වැලකීසිටිමි. තීරණය ඔබට බාරය.

     සැම සිරිපා වාරයක්ම නිමා වන්නේ පොලිතින්, ප්ලාස්ටික් ආදී අපද්‍රව්‍ය ටොන් ගනනක් සිරිපා පුද බිම ඇතුලු ශ්‍රීපාඩ අඩවි අභය භුමිය තුල ගොඩ ගැසෙයි. මේවා ඉවත් කිරිමද බරපතල ගැටලුවකි. ඔබ ගෙන යන පුංචි ටොපි කොලයේ සිට බිස්කට් පැකට්, වතුර බෝතල් ආදී දෑ ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව විසි කර දමයි. එය ඔබට ඉතා පහසු දෙයක් වුවත් එකිනි එක එකතු වන මහා කුණු කන්ද අවසානයේ කරදරයක් වන්නේ මේ ස්ථානය බලා කියා ගන්න සේවක පිරිසට අවට ගම් වාසීන්ට පමණක් නොව මෙම උතුම් පුබ බිම තම නිත්‍ය වාසභුමිය කරගත් දහස් ගණන් ආවේණික හා සුලභ සත්ව ප්‍රජාවටද පොදුවේ බලපායි.

     වන්දනා කරැවන්ට තවත් මහා හිසරදයක් වී ඇත්තේ යන අතර මග ඉදිවී ඇති ආගමික ස්ථානයන්ය. එකල නම්  නල්ලතන්නියේන් බැද පන්සිල් ගෙන පිටත් වු පසු අපට හමු වන්නේ සුප්‍රසිද්ධ ජපන් පන්සල හෙවත් ජපන් සාම චෛත්‍යය පිහිටා ඇති විහාරය පමණකි. නමුත් මේ වනවිට විහාරයන් යැයි කියාගන්නා බොහෝ ස්ථාන ප්‍රමාණයක් මේ අතරමගදී අටවාගෙන ඇති අතර මේ හැම එකක්ම සැබැවින්ම උතුම් පරමාර්ථයෙන්ම පිහිටුවන ලද ඒවා දැයි සිතට පැණයක් ඇතිවේ. 

    මේ හැම එකකදීම වන්දනා කරැවන්ව බලෙන් වාගේ පන්සිල් ගන්වයි. අවසානයේ අතේ බලෙන්ම නූලක් බඳී. මෙය පිරිත් නූලක් යැයි ඔවුන් පැවසුවද මා එසේ නොකියන්නේ එය නිවැරදි පිරිත් නූලක් නොව ආකර්ශනීය ලෙස විවිධ වර්ණ ගන්වන ලද, හුදෙක් රැල්ලක් ලෙස වර්තමාන තරැණ තරැණියන් අතර ජනප්‍රිය නූලි බැඳීමේ කලාව දඩ මීමා කර ගනිමින් හුදෙක් මුදල් උපයාගැනීමේ පරම පිවිතුරැ චේතනාවෙන් ගෙන යන ව්‍යාපාරයක් නිසාය. බොහෝ විට මෙවන් නූලකි බලෙන්ම වාගේ අතේ බඳින අතර මිල රු 20ක් හෝ 50කි. මෙය ආධාරයක් නොව ව්‍යාපාරයක් බව නොදන්නා වන්දනාකරැවෝ බොහෝ පිරිසක් මෙයට අසුවේ. ඔබ නිවැරදි ලෙස වන්දනාවට සහභාගී වන්නේනම් අමුතුවෙන් ආරක්ෂාවක් අවශ්‍ය නොවේ. අනෙක් අතට දහසකුත් එකක් දුරාචාර වල නියැලෙන්නේ නම් නූලක් බැන්ද පමණින් කිනම් ආරක්ෂාවක්ද?

    අවසානයේදී සටහන් කරන්නේ මෙය කියවන ඔබ මෙවර සිරිපා වන්දනාවේ යන්නට අදහසින් සිටින වන්දනා කරැවෙකුනම්, තමන්ටන් අනෙක් අයටත් වන්දනා කටයුතු කිසිදු අපහසුවකින් තොරව සිදුකරීමට හැකි ආකාරයෙන් තම ගමන කරන ලෙසටය. හැකිනම් එම ගමන සඳහා රාත්‍රී කාලය යොදා ගැනීම ගමන් වෙහෙස අඩු වීමට හේතු වන උදෑසන ඉර සේවය සහ උදෑසන බුද්ධ පූජාවට සහභාගී වීමට හැකිනම් වඩාත් අගනේය. මේ අතරම ඔබ යන ස්ථානය පිළිබදව හරි අවබෝධයක් ඇතුව නිවැරදි ලෙස පිවිසීමත් පිටවීමත් සිදු කරමින් ඔබ කරන්නේ තවත් මහා කුසල කර්මයකි. 

(මේ හුදෙක් කතෘගේ අදහස් පමණයි. සංවාදයට විවෘතය)

අම්මා........



සංසාරෙදි ඉපදුන හැම ආත්මෙකම 
මගෙ අම්මා වෙලා නුඔ ඉන්න ඇතී......

මේ අත් බවයෙත් නුඹම ලබන්නට 
එතරම් මම පින් කරල ඇතී.....

නුඹේ සෙනේ මට අහස උසයි මට
අම්මේ මතු මතුත් ඇතී.......

පතමි පැතුම් මම අම්ම නුඹයි මට
සරන පුරා මේ බවයෙ නිතී.....

බලා සිටිමි....

සොදුර, 
කලක් තිස්සේ පෙරුම් පුරා හිමිකරගත් සෙනෙහස නුඹය...
නෙතු අයා බලා සිටින සොදුරු රුව නුඹය... 
කදුළැල් සලා දරාගත් සුසුම නුඹය... 
මුලු ලොවට හොරෙන් නෙතු අග තනිය මැකූ කදුලු බින්දුව නුඹය.... 
විඩාව නිවා සනහාලන පින්බර සිනහව නුඹය... 
නිදිවරා බලා සිට අයදින උණුසුම නුඹය... 
ආදරයේ මුදු පහස රැදි සුවය සතුට සමගින් මවෙත ගෙන එන්න... 
ඔබ එන්න....

නිහැඩියාව බිද....


ඉතින් කොහොමද යාලුවනේ? ඔන්න මං කාලෙකට පස්සෙ ආවා බ්ලෙග් එක පැත්තෙ. ඔයාලටනම් දැන් මාව මතකද දන්නෙත් නෑ. මතක තියාගන්නම වැඩේ නේද? :D කොහොමද ඔයාලගෙ සැප සනීප? හැමෝම හොදින් ඇති කියලා හිතනවා. පහුගිය කාලෙ තිබුණු වැඩ කන්දරාවත් එක්ක බ්ලොග් ලියනවා තියා හුස්ම ගන්නවත් නිදහසක් තිබුණෙ නෑ. ගෙදර එනවා ආයෙ යනවා. ගියාම ඉතින් lectures, practicals, presentations, debates ඉවරයක් නෑ. ඉතින් මොන බ්ලොග්ද?
     අනේ මන්ද වෙලාව හොයාගෙන මේ පැත්තට ආවට මොනව ලියන්නද කියලා හිතාගන්න බෑ. හිතේ තියෙන කරදර සේරමත් එක්ක වැඩ කරද්දී එපා වෙනවා. මං හිතන්නෙ දැං මං මේ බ්ලොග් එක පටන් අරන් මාස දෙක තුනක් විතර වෙනවා මගේ හිතේ. හිතේ තියෙන දුක වාවගන්න මං ගත්ත පුංචි වෑයමක් මේ බ්ලොග් එක. හිතේ තිබුණු හැගීම් පිට කරගන්න මට මේ බ්ලොගය හොද පිටිවහලක් වුණා කිවුවොත් හරියටම හරි. මගේ අනිත් බ්ලොග් එකටත් වඩා ආසාවෙන් මං මේ බ්ලොග් එක ලියන්නෙ.
    මේ පුංචි කාලෙ තුල මේ හරහා මං වගේම තවත් සංවේදී හදවත් රාශියක් හදුනගන්න තරම් මං වාසනාවන්ත වුණා. මං බ්ලොග් වලට ආධුනිකයෙක්. මේ පැත්තට ආපු මට මං වගේම ගොඩක් අය අදුන ගන්න ලැබුණනෙ. මේ බ්ලොග් අවකාශෙදි අදුරගන්න ලැබුණ මුල්ම කෙනා වුනේ නෙරංජි නගා. එයා ඇත්තටම ගොඩක් හොද ගතිගුණ තියෙන නංගෙක්. එහෙම අදුනගත්ත අපේ මිතුරැකම කොහොම හරි අන්තිමට එයා මගේ සහෝදරියක් තරමටම ලං කරා. මං හිතින් වැටෙන හැම වාරයක් ගානෙම මොනව හරි කිය කිය මට ශක්තියක් වෙන්න නීනු ලොකු උත්සහයක් දරනවා.
ඊට පස්සෙ මට අදුන ගන්න ලැබෙනවා රවා කියන සංවේදී චරිතය. කවදාවත් දැකලා නැතිවුනත් චන්දික මල්ලි කිය කිය මගේ හැම බ්ලොගයකටම වචනෙකින් හරි දිරිමත් කිරීමක් කරන්න ඔහු අමතක කරන්නෙ නෑ. මගේ විතරක් නෙමෙයි මේ බ්ලොග් අවකාශය තුල ගොඩාක් අයගෙ ඕනම දුකක් කරදරයක් බෙදාගන්න රවා ඉදිරිපත් වෙන අවස්ථා අනන්තවත් මට දකින්න ලැබිලා තියෙනවා. කොහොම උනත් මම රවාට දීපු එක පොරොන්දුවක් තාම ඉටු කරන්න බැරි වුණා. රවා සමාව දෙනවා නේද? ඕන කමක් නෑ නෙමේ. මේ හැම දේකින්ම නිදහස්වෙලාවක මං ඒ පොරොන්දුව ඉටු කරන්නම්.
ඒ වගේම තමයි දිල් අක්කා,හා පැටික්කි,විහගි, සන්සරසිදු, සමනලී, හසිත,විෂ්මි ඇතුලු මගේ බ්ලොග් මිතුරැ මිතුරියන් හැමෝම වගේ මගේ මේ පුංචි බ්ලොග් ඉතිහාසය තුලදි ලොකු ශක්තියක් වුණා. ඒ හැමෝටම ගොඩක් පින්.
ඉතින් දැන් මං මේ බ්ලොගය ආපහු ලියන්න පටන් ගන්නවා දිග නිහැඩියාවකට පස්සේ. ඒ කාලය තුල සිදුවුණ දේවල් බොහොමයි. මං ඒ දේවලුත් ඔයාල එක්ක බෙදාගන්න බලාපොරොත්තුවෙනුයි ඉන්නෙ.
ඉතිං වෙලාවක් තිබුනොත් මේ පැත්තෙත් ඇවිත් යන්න එන්න.....

සැමට සුභම සුභ වෙසක් මංගල්‍යයක් වේවා....




මතකය

මද හිරැ රැස් යටින්
සිනිදු සුලං සේල සමගින්
වැහි පොදයට තෙමී
මතකයි ගිය හැටි එදා
අතිනත පටලවා අප.....

ළමා විය...‍



ආයෙමත් යන්න බැරි
කවදාවත් අමතක නොවෙන
සිතේ මතකයක් පමණක්ම වුන
සුන්දරම අතීතය.........


ඡායාරෑපය ගත්තෙ මෙතනින්..........

නව වසරට සුභ පැතුම්.....

උදා වුන 2010 සිංහල දෙමල අලුත් අවුරැද්ද මා එක්ක හැමදාම දුක සතුට බෙදාගන්න ආපු සියලුම සහෝදර සහෝදරියන්ටත් එසේම ශ්‍රී ලාංකික සැමටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.....!!!!!!


  ඡායාරෑපය ගත්තෙ මෙතනින්...

වෙන්ව යාම.....


අත්වැල් පටලගෙන මතකද අපි ගෙවාගෙන ආපු දුර.......
මතකද අපි හිනාවුන හැටි අඩපු හැටි අපේ දුක සතුට බෙදාගත්ත හැටි...
මට මතකයි මගෙ සතුටෙදි ඔයා සතුටින් උඩ පැන්න හැටි... ඒ වගේම මගේ පුංචි දුකක් මහ ලොකුවට හිතට අරගෙන අඩපු ඔය ඇස්වල කදුලුත් මං දැක්කා..... ඒ කදුලු මං වෙනුවෙන් ඔය ඇස් වලින් ගලපු කදුලු .....
අපි ලස්සන ලෝකයක් ගැන හීන මැවුවා.... මතකයිද?
ඒත්.....

අද අපි දෙමංසලකට ඇවිල්ලා. අපි යන්න ආපු ගමන....අතරමග අත ඇරලා අපිට වෙන්වෙලා යන්න සිද්ධ වෙනවා..... ඔයා ඔයගෙ පාරෙ යන්න ඕන.... මට තනියම මගෙ පාරෙ යන්න වෙනවා..... තනියම.....
අනේ.... අපි දෙන්නටම එක පාරක යන්න තිබුණනම්....... ඉස්සර වගේම එකට..... ඉතුරු දුරත් යන්න තිබුනනම්.....
ඒත් අවාසනාවට.... අපි ඒ තරම් පින් කරලා නෑ....
ඉතින් අපි වෙන්වෙමු......
මේ ආපු මග දිගට අපි ගෙවපු අතීතයෙදි විදපු දුක සතුට හැම දෙයකම මතකයන් සිතේ ඉතිරි කරගෙන.....අපි වෙන්වෙලා යමු.......
හැබැයි..... ගොඩක් පරිස්සමින් ඔයාගෙ ඉතිරි දුර ඔයාට යන්න වෙනවා තනියම....
එදා වගේ ඔයාව ලග ඉදගෙන පරිස්සම් කරන්න මම ඔයා ලග නෑ..... ඒත් ඕනම දුකකදි කරදරයකදි මං ඔයත් එක්ක ඉන්නවා කියලා හිතාගෙන ඉස්සරහට යන්න....
එතකොට හීන සැබෑ කරගන්න ලේසි වේවි.....
කවදහරි දාක..... සමහර විට..... මේ පාරවල් දෙක ආයෙ හමුවේවි කොතනකදි හරි......
එදාට අපි යලි හමු වේවි..... නොවැරදීම...... එදාට ඔයා ඔයාගෙ සිහින සැබෑ කරගෙන ගොඩාක් ඉහල තරුවක් වෙලා ඉදීවි......එදාට ඒ තරුව එකම එක වාරයක් හරි දකින එක තමයි මගේ බලාපොරොත්තුව වගේම සතුට....
අන්න එදාට ඔය ලස්සන හිනාව තව එකම එක පාරක් හරි ඔය ඇස් වලින් මං දැක්කට පස්සෙ හිතේ සතුටෙන් මට ඇස් දෙක පියා ගන්න පුලුවන් වේවි.....
එහෙනම් මගේ ආදරණිය..........
ඔබට සුභ ගමන්.........
දෑත් පටලා ගෙවා ආවෙමු බොහෝ දුර
දුක මෙන් සතුටෙදිත් සෙවනැල්ල සේ......
මතකයන් සුන්දරයි
සිතින් ගොඩනැගු ලොවේ.........
පසු කරන් ආ මගේ දෙමංසල අබිමුවෙහි.....
වෙන්වෙලා යමු ඉතින්.......
දිනෙක හමු වේවි මේ මං දෙක යලිත්
නොවැරද......
සිනාසෙනු මැන එදින තව එක් වරක්
මියෙන්නට මට නුඹෙ සුවද සමගින්.........

ඇරඹුම කදුලක්......

මේ ගීතය අපි හැමෝම අහල තියෙන එකක්. බොහොම සංවේදී පදපෙලක් වගේම එයටම ගැලපෙන තනුවකුත් තියෙනවා... කසුන්ගෙ හඩත් හොදින්ම ගැලපෙනවා.....
මම කැමතිම සින්දුව මේක තමයි....

ඇරඹුමම කදුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා...
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා......//

දුක්බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
අරුත පසිදින්නට කියා...
අවසානයට පෙර ඈ ගියා......//

ශෝකාන්තය එනතුරා
එහි රැදෙන්නට සිත් නැති නිසා...
අනන්නය ලග මා දමා
අවසානයට පෙර ඈ ගියා....//

පැතුම....

සහස් ගව් දුරක් ගෙවා අවුදින්
නවාතැන්පලක් නොපෙනී
විඩාපත් හද රිදුම් දේ.....
අඳුරු මග මම ගෙවා ආවෙමි
අත රැදි පහණ නිවුනද
තනිව මේ ගණ කලුවරේ....
වෙහෙස දැනුනත් යායුතුයි තව
බොහෝ දුර ඇත මේ ජීවිතේ....
පෙවූ කිරි ණය ගෙවාලන්නට
කැවු බත් වල ගුණ දෙවන්නට
තිර අදිටනින් යන මාවතේ.....
පය පැකිල ඇද වැටුනද නොසැලෙමි
දිරිය ඇත තව මා සිතේ.....
පාලු මාවත එලිය දෙන්නට
හදේ තනිකම මකාලන්නට
ඈත අහසේ පායා ඒවිද
පුංචි තරුවක්ව හෝ නුඹ හෙට දිනේ....
තරුව නොව නුඹ එලිය දෙනු මැන
සඳු වෙලා හෙට මගෙ ලොවේ....

අදුරේ සැගව යමි.......

බලාපොරොත්තු එකින් එක බිද වැටෙද්දී
පැතූ හැමදේම මා හැර දමා දුරස්ව යද්දී 
නෙතු අග කදුලු බිදු තනි මැකු බව
තවම අමතක නැත මට....
ඒ කදුලු පිසිනු ඇතැයි මා සිතූ නුඹ
මේ අදුරේ මා තනිකොට දමා
තවතවත් දුරට යන බව දැන දැන
වැලපෙන මගේ හදවතට
පසක් කල මැනව....නොලැබීමේ අරුත.....
එපා මට ලොවම දැන්.....එපා මට සිහිනයන්....
ඉටුනොවන සිහිනයක්
සදාකාලික සමරුවක් සේ.....
මා හදේ නිදන් කොට....
දොරගුලු වසමි අද.......
කිසිදා මා හැරදමා නොගිය
සදාකාලික වේදනාව නම් වූ
සදාදර මා මිතුර
වඩිනු මැන මගෙ ලොවට යලිත්
සදාකාලිකවම රැදී මා වෙත
විදින්නට මා ලැබූ ජීවිතය....විදවන්නට.......
සංසාරය පුරාවටම.....................

බිදෙන්නට යන සිහිනය......

දහසක් දේ කැපකොට
සිවුවසක් නිදි වරා
ගොඩ නගාගත් ලෝකය
අහෝ මේතරම් නපුරුද?
මට විතරක් නොව 
මවුපියන්ගේ සතුට සුව සදන්නට
ඔවුන් ඉපයු හැම සතේම
වියදම් කලේ මොකටද......?
ඔවුන්ගේ දෑත් වල නැගුණු කරගැට 
ණය ගෙවන්නට කවදා නම් 
හැකි වෙයිද මට......?
සොදුරු යැයි සිතා සිටි
සරසවි සිහිනය
රුදුරු ලෙස රිදවද්දී
තවතවත් දරාගෙයන
 කොතෙක් නම් ඉවසම්ද......?

අනුන්ගේ බ්ලොග් ලිපි හොරකම් කිරීම...

මා  හිතවත් බ්ලොග් සහෘදයනි. මේ බලන්න.. ඔයාල මට කියන්න මේ වැඩේ හරිද කියලා.. මම 2010-03-04 වෙනිදා මගේ බ්ලොග් එකේ ලිවුව ඔබ මට හිමිද?  කියන නිසදැස තවත් කෙනෙකු එයාගෙ බ්ලොග් එකේ 2010-03-19 වෙනිදා කොපි කරලා ලියලා සිනහව කියන නමින් එයාගෙ දගකාර යෞවනයේ සිතැගි අදහස් කියන එයාගෙ බ්ලොග් එකේ. ඒකෙ මෙයාගෙ නම ගම විස්තරයක් දාලා තියෙනවා. නම කාංචනා වඩුගේලු. මේ විස්තර ඇත්තද බොරුද මං දන්නෙ නැහැ. මට ඒකෙන් වැඩකුත් නැහැ.
මම දෙයක් ලියලා පල කරන්නෙ කාට හරි කියවලා රසවිදින්න. නමුත් කවුරු හරි ඒක කොපි කරන්නෙ ඇයි..? කරත් කමක් නෑ අඩුගානෙ ගත්තෙ කොහෙන්ද කියලා හරි කියනවනමි..
මගේ නිර්මාණ ලස්සන නැති වෙන්න පුලුවන්. මේක මහ ලොකු දෙයක්ද, ඇයි ඔතරම් කියවන්නෙ කියලත් තව කාට හරි හිතෙයි. නමුත් කාට නැතත් මට මගේ දේවල් වටිනවා. මමත් බ්ලොග් කරණයට ආධුනිකයෙක් තවමත්.
කාටහරි උදව්වක් ඕන නම් මං ලෑස්තියි හරිම සතුටෙන් උදවු කරන්න. නමුත් මේ වගේ බාල වැඩ කරද්දිනම් කලකිරෙනවා. මං මේ බ්ලොගය ලියන්නෙ මගේ හිතේ තියෙන වේදනාව අඩු කරගන්න මිසක් මට ජනප්‍රිය බ්ලොගර් කෙනෙක් වෙන්න කිසිම ආසවක් නැහැ..
දැන් සමහර විට මං මේක ලිවුවට පස්සෙ ඔය කෙනා ලිපිය මකලා දාන්නත් පුලුවන් නිසා මං screen shots අරගත්තා. මගේ පෝස්ට් එකෙයි ඒ පෝස්ට් එකෙයි දෙකේම screen shots මෙතන කියෙනවා. 











මමලියපු එක                                                          කොපිකරපු එක

මගෙ නිර්මාණ අවලස්සන වෙන්න පුලුවන්. නමුත් කරැණාකරලා මීට පස්සෙවත් කවුරුහරි කව කෙනෙකුගේ නිර්මාණයක් වෙන තැනක දානවනම් අඩුගානෙ ගත්ත තැනවත් සටහන් කරන්න. මටනම් මගෙ නිර්මාණ පරිස්සම් කරලා හංගලා තියා ගන්න කිසිම උවමනාවක් නැහැ.  කවුරුහරි රසවිදිනවානම් මගෙ සතුට ඒක තමයි. නමුත් කෙනෙකුගේ නිර්මාණයක අයිතියවත් ඔහුට තිබිය යුතුයි නේද? (අවාසනාවට මේක අපේ රටේ හැටි....)
අවසාන වශයෙන් කාංචනා වඩුගේ (ඇතැම්විට අන්වර්ථ නාමයක් විය හැක) නම් වූ මට නුඹ ගැන කලකිරීමක් මිස කිසිදු තරහක් වෛරයක් මා වෙත නොමැති බව පමණක් සටහන් කරන්නම්. නුඹගේ බ්ලොග් අනාගතයට සුභ පතමි.

මරණය...

මරණයටවත් බැහැ
නුඹ මගෙන් වෙන් කරන්න
සදාකල් නුඹෙ පසුපස
එන්න මට ඉඩ දෙන්න....
සොහොන් බිමේ පාලුවට
සුලගක්ව හමා විත්
එක්වරක් හෝ ඇවිත්
මගේ හිත සනසන්න....

නුඹ වෙනුවෙන් ගැලු කදුල.....

වස්සාන නිම්නයේ
සිහිල් පවනැල්ලක
හිම කදු මාවතේ තුරු මත ඉදන් ගැයු
විහග ගීතය ගොලුවෙලා අද....
සරා සදද මිලින වී
සීතලම සීතල එකම කදුලක්
නෙතු අද්දර ඉතිරිව ඇත.....
නුඹේ නමින් ගිලිහෙන්නට
මේ නිසල නිශා යාමයේ
තුන් සිත හඩනා හඩ
ඔබට ඇසේනම්....

මේකට මාතෘකාවක් ඕනමද?


අද මගෙ ජීවිතේට මහ එපා කරපු දවසක්. මං දන්නෙ නෑ මට එහෙම හිතෙන්නෙ ඇයි කියලා. සමහර විට මේ සිද්දීය ඒ හැටි ලොකු දෙයක් නෙමෙයි කියලා කාටහරි හිතෙන්න පුලුවන්. නැත්තං ඕක ඔය හැටි ගනන් ගන්න දෙයක් නෙමෙයි කියලත්සමහරැ හිතයි. නමුත් මට දුක මං නිසා මේකට අහක හිටපු කෙනෙකුට වෙච්ච හිත රිදවීම ගැනයි. අපි කෙලින්ම කතාවට එමුකො. මෙන්න මේකයි සිද්ධිය.
මේ ආසන්න දවසකදි අපේ පාසලේ බිග් මැචි එක පැවැත්වෙනවා. පාසල මොකක්ද කියලා කියන්න ඕන නැහැ. බිග්මැචි කාලෙට ඉතින් හැම පාසටක්ම වගේ පූර්ව ප්‍රචාරණ වැඩසටහන් කරනවනෙ.  ඉතින් ඒ නිසා ඕකට මේ දවස් වල විවිධ විදියෙ ප්‍රචාරණ වැඩසටහන් කිහිපයක් අපේ පාසලෙනුත් කරගෙන යනවා. මුහුණු පොතේ පවා මේ ගැන දැනුවත් කිරීම් කරන්න අපේ පාසලේ සහෝදර සහෝදරියන් කටයුතු කරනවා. අද දහවල් අපේ පාසලේ සහෝදරයෙක් මට පණිවිඩයක් එවලා තිබුණා මුහුණු පොතේ හදුනාගන්නා රෑපය සදහා මේ දින කීපයට පාසලේ ධජය දාමු කියලා. ඔය නිදහස් දිනේට ගෙවල් වල අපේ ජාතික කොඩිය දානවා වගේ කියලා හිතාගන්නනො. අපිට අකුරු කරන්න සෙවන දීපු පාසල නිසා ඉතින් කොහොම හරි ඔය වැඩේ අපි කලා කියමුකො. පාසලේ වෙබ් සයිට් එක කරගෙන යන්නෙත් මං නිසා මමත් මේ වැඩේට බැහැලම මගෙ සපොර්ට් එක දුන්නා. ඒ මොකද මං මගේ පාසලට ආදරෙයි. දැං ඔයාලා කියන්න එපා ඔය දෙයින් මොකක්ද ඇති පලේ කියලා. ඒක පුංචි අහිංසක වැඩක් විතරයි පාසලේ ප්‍රසිද්ධිය වෙනුවෙන් කරපු.
 මං ඉතිං හවස දෙකේ විතර ඉදන් මුනු පොතට වෙලා එන එන යාලුවන්ට චැටි එකෙනුත් පණිවිඩ මගිනුත් ඉල්ලීමක් කරා මේ විදිහට කරන්න කියලා. ඇත්තටම බොහොම සංතෝසයි ගොඩක් දෙනා හරිම ආසාවෙන් ඒ මොහොතෙම ප්‍රතිචාර දක්වන්න ක්‍රියා කලා. සමහර දෙනෙක් විවිධ ප්‍රශ්න කිරීමි වලින් පස්සෙ සහ‍යෝගය දුන්නා. තවත් සමහරැන්ට පොඩි පොඩි උපකාර එහෙමත් දෙන්න උනා. සමහරැන්ට මේක විහිලුවක් වගෙත් පේන්න ඇති. ඒවා ඉතිං මිනිස්සු හිතන විදිහ අපට වෙනස් කරන්න බැහැනෙ. මං වැරදිලා වෙන පාසල් වල මිතුරන්ට යැවුවම ඔවුන් බොහොම සුහදව කියනවා මං මේ පාසලේ නොවෙයි කියලා. නමුත් එක සහෝදරයෙක් කීවා මෙහෙම. අයියා මේක මගෙ පාසල නොවුනට මගේ අම්මගෙ තාත්තගෙ සහෝදරයගෙ පාසල ඒ නිසා මං ‍ඒ වෙනුවෙන් දාන්නමි කියලා.
නමුත් මට ගොඩක්ම කලකිරිමකට මුහුණ දෙන්න වුන සිද්ධියක් සිදු වුනා. අපේ පාසලේම සහෝදරියකට මං මේ ඉල්ලීම කරලා චැටි මැසේජ් එකක් යැව්වා. මේ කියන කෙනා හැබැයි මං වැඩිය දන්න කියන කෙනෙක් නෙමෙයි. නමුත් මං ඉතාම ලගින් ආශ්‍රය කරන මල්ලි කෙනෙක්ගෙ හිතවත් කෙනෙක් කියලා මං දැනගෙන හිටියා. කොහොම හරි මගේ පලමු පණිවිඩයට ප්‍රතිචාරයක් නැති නිසා මං කලේ නැවත msg එකක් යැවුවා. මට ඒකෙ අමුත්තක් තිබුණෙ නැහැ මොකද කිහිප දෙනෙක්ටම ඔය දේ කල නිසා. නමුත් මේ සහෝදරිය දෙවන වර මගේ පණිවිඩයට පිලිතුරැ ලෙස දැක්වුයේ ප්‍රතික්ෂේප කිරිම. ඔය පිලිතුර අද දවසට කීප දෙනෙක්ගෙන් බොහෝ වාරයක්ම ලැබුණ නිසා මම ආපහු පණිවිඩයක් මොනවද ඉගෙන ගත් පාසලට ගවුරවයක් විදිහට  සලකලාවත් මේ වැඩේ කරන්න බැරිද කියලා. නමුත් ඇගේ පිලිතුර වුනේ පාසලට ‍ගවුරව කරන ආකාරය ඈ හොදින් දන්නා අතර මා එක කියා දීම අනවශ්‍ය බවත්ය. තවද ඈ මෙම පාසලේ සිටියේ වසර එකහමාරක් පමණ කාලයක් බවත් එසේනම් තමාගේ පාසල වසර එකොලහක් ඉගෙනගත් පාසල නිසා එයට මීටත් වඩා ගරැ කරනා බවත්ය. ඒබැවින් කෙසේවත් අප මගේ ඉල්ලීම ඉටු නොකරන බවත් කීය. මා දුර දිග නොසිතා කල දේට කිහිප විටක් සමාව ඉල්ලුවද ඇ ඒ සදහා ප්‍රතිචාර දැක්වීමෙන්ද වැලකී සිටියාය. සමහර විට ඇය, මා මානසික රෝගියෙකු ලෙස දකින්නට ඇත.
සොයුරිය, වැරදුනේ මටය. මෙයින් මා ලැබූ කිසිදු වාසියක් නොමැත. අඩුම ගානේ ම‍ට මේ වෙනුවෙන් අබ ඇටයක දෙයක් හෝ නොලැබේ. හුදෙක් පාසලේ නම ජනප්‍රිය කිරීමේ වෑයම වෙනුවෙන් අප සොයුරන් කිහිප දෙනෙකුගේ අහිංසක උත්සහයට දායක වීමෙන් මා හට අවසානයේ සිදුවූයේ මගේ සිත රිදවාගන්නටය. ඒ නුඹ මා සමග අමනාප වු නිසානම් නොවේ. මගේ ක්‍රියාව නිසා සිදුවූ දෙයින් අපහසුතාවට පත්වූයේ මට ඔබ හදුන්වා දෙන්නට කටයුතු කල, එකකුස නූපන්නත් මගේම සොයුරා ලෙස සලකන ඔහු නිසාය. මගේ කියු දැයින් නුබේ සිත රිදුනානම් මට සමාව දෙන ලෙස ඉල්ලමි. මගේ උත්සාහයේ ප්‍රතිඵල මා ඇස් පනාපිටම අත්දකින නිසා සිත පතුලේ ඇති සතුටට මෙය බාධාවක් නොවන බව පමණක් මම අදහමි.
මෙම ලිපිය මුල සිට අගටම කියවූයේනම් ඇතැම් විට මෙහි කිසිවක් නොමැති බැව් ඔබට වැටහෙනු ඇත. නමුත් ඒ තුල බොහෝ දේ තිබේ.
වැරදි ඇයද, මම ද? මම ඔබෙන් අසමි. තීරණය ඔබට බාර කරමි.

මගේ තනිකම.....

තනි මකන්නට කවුරු නැතිව
තනිකමම විතරක් තනියට
ලග හිදින මේ නිශාවේ......
සිතේ තෙරපෙන සුසුම් පොදියම
හැර දමාලු කවුලු දොරින්
ඈත අනන්තයට පාවී ගිය සද.......
සුපිපි කුමුදු කුසුම් සුවදින් නැලවුන
සුමුදු සද මඩල පවා 
ඉකිබිදින බව
දැනුනේද නුඹට.......
සත්තකින්ම කියන් මට
මගේම දයාබර වූ නුඹම
තව එකම එක බලාපොරොත්තුවක්
සිරකල මගේ බොලද හදවත
මේ රිදුම් හමුවේ අසරණව
තව කොතෙක් නම්
බලා ඉන්නද?........

වැලපීම......

නුඔ නැතිවා තමයි
කුමක් කරනුද මා....
වැලපෙනු බැහැ මට
ලොවට හොරෙන් මිස.....
යලියලිත් නෙතු ගැටෙනා කල
ඉස්සර මෙන් අප
යනෙනා මග තොට
නුඹ නෙතු මා අභිමුව.....
දුක සගවා ගමි
ආයාසෙන් වුව.....

සත්‍යය....

තුෂාරයේ තුහින පටල ඉරාගෙන
හිරුමඩල නැගෙන සද
හැමදාම හමුවුණු ඔය නිල් දෙනෙතට
සත්තයි මං ආදරේ කලා....

මුවගින් නොකීවත්
දෙනෙතින් හොරෙන් කිවු රහසට
මටත් නොදැනීම වාගේ
සත්තයි මං ආදරේ කලා.....



සුවද මල් පිපුණු මාවතේ 
දෑත් පටලා ඇවිද නොගියාට
රහසින් හමුවී නොදෙඩුවාට
සත්තයි මං ආදරේ කලා.....

මගේ ආදරේ හැර දමා
ඔහුගෙ සෙවනට ගියත්
සදාකාලික මගේ ලෝකය වූ නුඹට
සත්තයි මං ආදරේ කලා.....

විඩාව....

විඩාපත් වුවද මා         
යහනට පිලිපන්නේ
නිදන්නට නොව......
නුඹගෙන් තොරව මා
තනිවූ නිමේෂය
හුදකලාවේ ගෙවාදමන්නට
සිත දිරි වඩාගත නොහැකි
නිසාවෙනි.......

තනිකම....

තෙරක් නොමැතිව     
මං මුලාවේ.............
මහ සයුරක රැලි තරග
අතරේ තනිවුන.......
පුංචි කඩදාසි ඔරුව....
මම.........

නික්ම යන්නට අවසරයි (ජීවිතෙන්)....

මගේ ජීවිතෙන් මං ඈත් වෙනවා..
ඔය රත්තරන් හිතට මං   
දුක් ‍දෙන්නෙ කොහොමද තවත්....
ඔයා තනිවෙලා,
මගේ මතකය එක්ක....
මං තනිවෙලා,
මේ සල්ලි වලින් වට වෙච්ච ලෝකෙක......
මං අද හෙටම මේ පුංචි රටෙනුත් ඈත් වෙලා
යන්න යාවී......
අනේ ඒත් මට ඊට කලින්
ඔයාගෙ හුස්ම රැදුන
මේ රට ඇතුලෙදි.....
අන්තිම හුස්ම ටික හලන්න
අවසර දෙන්න....
අනේ ඔයාට ගොඩක් පින්...
මට තව දුක් විදින්න බෑ......

(මං හැමදාමත් කදුලු හලන ඔයාගෙ පුංචි සමනලී)
2010/03/05  08.32PM

ජීවිතය (මේ වගේද)?

සතුටු ඉර මකා 
සැහැල්ලු දිවියට නැවතුමේ තිත තබා
දුකඳුර කලු දුම් පිඹින විට
පහන් දල්වමි මසිත් කුටියෙහි
තබනු නොහැකියෙන් ඔබ එහි කලුවරේ...... 

මසක් නොඉක්මුණි
මසිත් කුටියට ඔබ පැමිණ
එක් වරකුදු නොසිතුවෙමි
බැඳී පැටලී ගැවසෙන්න......

වුවමනාවෙන්ම මගහැරියෙමි
පිපෙන සිතුවිලි පිට නොකලෙමි
අහිංසක අසරණ ඔබට
සුවඳ කර පිදුවෙමි.....

එහෙත් හිමි නැති බව හිත
ඉඳුරාම දනිමි....
තනිව විඳගන්නෙමි
දිවිතරණයට නගින පියගැට ගානේ.....
හීන ඇහිඳින්න වෙයි මට
හීන ඉහිරුණු දාක....

දුර යන්න බැරි මේ බැඳීම
කුමට මා සොයා ආවාද......
ගොලු වුනාදෙන් එය
අමිහිරි අත්දැකීමක් ලෙසට
පෙර සේම......

අවසන් ලියුම(ද)?

හිනාව අමතක කරපු මං 
හිනා වුනේ ඔයා නිසාමයි.......
ඒ හිනාව ලස්සනයි කියලා
ඔයා කියපු හැටි මට තාම මතකයි......
ඒත් රත්තරනේ....
දැන් ආයෙත් ඒ හිනාව
මට අමතක කරන්න කාලෙ ඇවිත්....
මං යන්නම් රත්තරනේ.....
ඇත්තටම....
මට බෑ ඔයාගේ ජීවිතේ නැති කරන්න....
මට බෑ ඔයාගෙ අම්මයි තාත්තයි
අසරණ කරවන්න....
අපේ ආදරේ වෙනුවෙන්
ඒ මිනිස්සු කදුලු හලන්න ඕනෙ නෑ.....
අපි අඩමු ඇස් රිදෙනකල්.......
අපි දුක් විදිමු
ඒ අයට දුක් නොදී...........
(මං හැමදාමත් කදුලු හලන ඔයාගෙ පුංචි සමනලී)
2010/03/04  07.43PM
මේ ඔබ නොදන්නා ඇය ලියු කථාවයි.......

නුඹ මගේ නොවේ.............

නුඹ මගේ යැයි  
සිතා සිටියෙමි මා...
දිවා රෑ පෙම් කලෙමි.....
පෙරුම් පිරුවෙම්
නුඹ දකින්නට සිය දහස්වර....
නමුදු ඒ පිරූ පෙරුමන්
එකින් එක බිදීගොස්
නුඹ අන්සතුය අද......

නොඉදුල් මල


සහසක් රැකවරණ මැද
සුපිපුනත් කටුපදුරු අග
පුංචි රෝසමලේ නුඹ....
කුමන වෙහෙසක්ද
ලං වන්නට නුඹ වෙතට
දහසක් වූ බඹර කැලට....

ඔබ මට හිමිද?

අරුණලු කැලුම් ගෙන
හිරු මඩල නැගෙන සද
කැකුලු හිනැහෙන සීත උදයේ
නුඹේ සුන්දර වත කමල
 නෙතු ගැටෙන ඇසිල්ලෙහි
මා සිතට නැගෙන්නේ ආදරය බැව්
සත්තයි....

නුඹේ දෙනෙත අභිමුවෙහි
මා සිත ගොලු වී
මුවින් පිට නොවන
හැගුම් පෙල
ආදරය නොවේ නම්.........

ඇරඹුම......

 
හිතට වේදනාවක් තනිකමක් දැනුනම කොල කෑල්ලක් අරගෙන මොනවා හරි කුරුටු ගාන එක තමයි මගේ පුරුද්ද වෙලා තිබුණෙ. මගේ සටහන් ලියන පොත් වල අනන්තවත් ඒ වගේ කුරුටු ගාපු තැන් තියෙනවා. සමහරු නම් මට විහිලු කලා. මං හරි බොලදයිලු, ඔය වගේ දාහක් දේවල් කීවා. සමහර විට ඒ නිසාම වෙන්න ඇති මගේ ඒ වැඩේ නැවතුනේ.
ඒ වුනත් මං හිතනවා මං ආයෙත් ඒ දේ පුරුදු වුනොත් හොදයි කියලා. මගේම ජීවිත අත්දැකීම් ගොඩක් එකතු කරලි තාමත් මා ලග පරිස්සමින් තියෙනවා. ඒවා කියවපු කීප දෙනෙකුගේ ඉල්ලීම නිසා මට හිතෙනවා ආපහු ලියන්න පටන් ගන්න ඕන කියලා.

අපි මේ ලොකේ බලාපොරොත්තු වෙන ගොඩක් දේවල් අපෙන් ඈතට ඇදිලා යනවා. ආයේ කවමදාවත් ලං කරගන්න බැරි වෙන විදියට. ඒ වෙලාවට හිතට දැනෙන වේදනාව දරා ගන්න බැරි වුනත් ඒ වේදනාවන් අස්සසෙන් මතකෙට ගලාගෙන එන අතීත සුන්දර මතකයන් අර වේදනාව අතරින් ගලාගෙන යද්දි පුංචි සහනයක් දැනෙනවා. ජීවිතේ ලබා ගන්න උත්සහ කරපු ගොඩක් දේවල් එකින් එක ගිලිහිලා යද්දි ඒ වෙනුවෙන් ඇස්වලින් ගලන කදුලු නවත්තන්න හුගක් උත්සහ කරන්න වෙනවා නේද? එහෙම දවසටත් අඩන්නනෙ නැත්තම් කදුලු වාවගන්න පුලුවන්නම්.....
ඒත් එහෙම ඉන්න අමාරුයි. අන්න ඒ වගේ වෙලාවට ලෝකෙට හො‍රෙන් හරි අපි අඩනවා. උඩින් ලෝකෙට පේනන හිනාවෙලා වැඩියෙන්ම සතුටින් ඉන්නවා කියලා පිටට පේන අය තමයි හිතේ ලොකු දුක් ගංගාවල් පුරවගෙන කාටවත්ම නොකියා ඒ දුක තනියම උහුලගෙන ජීවත් වෙන්නෙ. හුගක් වෙලාවට ඒ තමන් වෙනුවෙන් නෙමෙයි. වෙන කාගෙ හරි යහපතක් වෙනුවෙන්. ගොඩක් ආදරය කරපු අය දාලා යන්න උනාම එහෙම දාලා යන්න බැරුව, කෑ ගහලා අඩන්න ඕනෙ වුනත් එහෙම කරන්න බැරි අය අනන්තවත් මේ ලෝකෙ ඉන්නවා. ඒත් එයාලා ලෝකෙට හොරෙන් මහා කදුලු ගංගාවල් හලනවා තමන්ගෙ දුක තුනී කරගන්න.
වැඩියෙන්ම ආදරේ කරපු කෙනෙක්ගෙ යහපත වෙනුවෙන් නැත්තම් අම්මා තාත්තා, සහෝදර සහෝදරියන්ගෙ යහපත වෙනුවෙන් තමන්ට අවාසියක් වෙන තීරණ අරගෙන ඒ ගැන ලෝකෙට හොරෙන් දුක් වෙවී හැමදාමත් හිතින් හඩා වැටෙන, ඒ වගේ කැප කීරිම් කරපු අය ඇත්තටම නියම මිනිස්සු. එහෙම නේද?

ඉතින් එන්න. අපි අපේ අත්දැකීම් බෙදාගනිමු.