ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

නව වසරට සුභ පැතුම්..



ඉතින් ඔන්න හිතවතුනි 2010 වසරෙ ලියන අවසාන ලිපිය. මේ පහුගිය වසර දිහා අපසු හැරිලා බලද්දී මටනම් සතුටු වෙන්න කාරණාවන් කිහිපයක්ම තිබෙනවා.  ඉතින් ඉටුකරගත්තු පැතුම් වගේම ඉටුකරගන්න තියෙන බලාපොරොත්තු සේරමත් අරගෙන 2010 වසරෙන් උදාවන අවුරුද්දට පිවිසෙන්න බලාගෙන ඉන්න හිත මිතුරු බ්ලොග් මිතුරු මිතුරියන් හැම දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පතන්නම්. එහෙනම් අලුත් අවුරුද්දෙදි නැවත හමුවෙමු.


හෙටින් උදාවන 2011 නව වසර ඔබ සැමට සුභම සුභ අලුත්  අවුරුද්දක් වේවා!!!!

..ChAnDiKa..
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

මේ පාරත් සිරීපාදේ යනවද? ~ උතුම් ශ්‍රීපාද වන්දනා සමය අදින් ඇරඹෙයි......


යං නමමදාය නදියා.. පුලිනෙච තිරෙ..
යං සචඡබදධ ගිරිකෙ.. සුමනා චලගගෙ..
යං තථථ යොනක පුරෙ.. මුනිනොච පාදං..
තං පාදලාංඡන මහං.. සිරසා නමාමි..

    ලොවුතුරා බුදු හිමියන්ගේ උතුම් සිරිපා පතුල පිහිටා ඇති අති පූජනීය සිරිපා වන්දනා සමය අදින් ඇරඹුණි. සිරිපා පතුල පිහිටා මෙලොව ස්ථාන හතරක පිහිටුවන ලද බවට ඉහත සඳහන් කරන ලද ගාථා පාඨයේ සටහන් වන ආකාරයට අපි දනිමු. එහි සඳහන් අනෙක් ස්ථාන තුනටම වඩා අතිශයින් ජනප්‍රසාදයක් නිතැතින්ම හිමි කරගනුයේ ශ්‍රී ලංකාවේ සුන්දර කඳුකරයේ සමනළ පර්වතය මත පිහිටුවා ඇති සිරිපතුල බව අමුතුවෙන් කිව යුතු නැත. 

    සෑම වසරකදීම වන්දනා සමය එළඹෙත්ම දෙස් විදෙස් බොහෝ වන්දනා කරුවන් ප්‍රමාණයක් සිරිපා කරුණාකිරීමට පැමිණෙන වග ඔබ අප කවුරැත් දන්නා කරැණකි. ඉතා පහසුවෙන් ලඟා විය හැකි හැටන් නල්ලතන්නි මාර්ගය ඔස්සේ මෙන්ම තරමක් දුෂ්කර වුවත් රත්නපුර සිරිපාගම මාර්ගය ඔස්සේ මෙන්ම කුරැවිට මාර්ගය ඔස්සේද සිරිපා කරැණා කරන්නට පැමිණෙන පිරිසනම් ලක්ෂ ගණනක් ඉක්මවයි. බෞද්ධ පමණක් නොව ක්‍රිස්තියානී, මුස්ලිම්, හින්දු ආදී වෙනත් ආගමික පිරිස් ද මේ උතුම් වන්දනා සමයේදී සිරිපා කරැණා කරති. අතරමගදී එසේ හමුවන වන්දනා නඩ අතර හුවමාරුවන සුභ පැතුම් වැකි ආශිර්වාද නිමක් නැත. අවට සොබා සුන්දරත්වය විඳිමින් යන මෙම ගමන නම් අතිශයින්ම සුන්දර අත් දැකීමක් වන්නේය.

    මේ මාද මේ වන විට දහ වතාවකට වැඩි වාරගණනක් සිරිපා කරුණා කර ඇත්තෙමි. පහකට වැඩි කෝඩු කරැවන් ප්‍රමාණයක් වරින් වර මෙම ගමන් වලදී සහභාගි කරවාගෙ ඇත්තෙමි. ඒ සෑම ගමනකදීම මා සමග සිටි මගේ එකකුස උපන් සොයුරාගේ වියෝව නිසා පසුගිය දෙවසරම මා සිරිපා කරැණා නොකළෙමි. ඒ අන් කිසිවක් නිසා නොව මිය යාමට පෙර කෙසේ හෝ සිය වතාවක් සිරිපා කරුණා කල යුතු බවට ඔහුත් මමත් ගෙන තිබූ බලාපොරොත්තු අතරමගදී අත් හැර දමා ඔහු මා හැර ගිය නිසා ඔහු නැතිව සිරිපා කරුණා කිරීමට මා සිත දිරි නොවු බැවිනි. ඒ කෙසේ වුවද මෙවර සිට නැවතත් සිරිපා කරුණා කිරීමට මාගේ බලාපොරොත්තුව ඔහුගේ පැතුම මා ඔහු වෙනුවෙන් තනිවම හෝ ඉටු කල යුතුයි යන්න මසිත මට බල කල බැවිනි.

    මේ සටහන ලිවීමට මට සිත් යොමු වුයේ මාගේ ශ්‍රී පාද අත්දැකීම් පැවසීමට නොව වෙනත් කාරණාවක් උදෙසායි. 

    වර්තමානයේදි බොහො දෙනෙකු සිරිපා ගමන වන්දනාවකටත් වඩා සලකන්නේ විනෝද ගමනක් ලෙසටය. විනෝද වූවාට කම් නැත. එහෙත් එහි යම් සීමාවක් තිබිය යුතුය. මක් නිසාද යත් මේ යන්නේ ලොව උතුම් පූජනීය ස්ථානයකට බැවිනි. පූජනීය ස්ථානයකදී හැසිරීම කල යුතු ආකාරය බොහෝ දෙනා නොදන්නේද, එසේත් නැතිනම් නොදන්නා සේ හැසිරෙන්නේද යන්න ගැටලුවකි. බොහෝ දෙනෙකුට ඒ තමන් එන්නේ කොහේටද යන බවවත් අමතක බව පෙනේ.

    ඇතැම් පිරිමින් පැමිණෙනුයේ බීමතිනි. එක්කෝ රැගෙන විත් පානය කරයි. අවදානයේ බෝතල් බිඳ දමා කැබලි දසත විසුරුවා දමයි. අවසානයේ කරදරයට පත්ව වනුයේ තවත් අසරන වන්දනාකරුවෙක්මය. තවත් පිරිසක් එසේ බීගෙන පැමිණෙන අනෙක් අයටද හිසරදයක් සේ හැසිරෙයි. තරැණියන්ට නොයෙකුත් අසභ්‍ය විහිලු කරමින් මහා ජුගුප්සාජනක හැසිරීමක යෙදෙයි. අසභ්‍ය සින්දු කියයි.
වරක් උතුම් ශ්‍රීපාද මලුවේ විශ්‍රාම ශාලාව තුලදී  වන්දනාකරැවන් පිරිසක් ගී ගයමින් විනෝද වන අයුරැ 
මා හට දකින්නට ලැබුණි. 

    මීලඟ චෝදනාව එල්ල වන්නේ කාන්තා පාර්ශවයටයි.(සියල්ලන්ටම මෙය අදාල නොවේ. නිවැරදි අය කමත්වා) වැඩි වශයෙන් මේ චෝදනාවට ලක් වනුයේ තරුණ කාන්තා කොට්ඨාශයයි. බොහෝ දෙනෙකුගේ ඇඳුම් ආයිත්තම් නම් එවන් උතුම් පුද බිමකට කෙසේ වත් නොගැලපෙන අසික්කිත ඒවාය.(නැවත කියමි. බහුතරය නොවේ). විලාසිතා සංදර්ශනයකට ඔබින පරිදි හැදීම මෙවන් ගමනකට කෙසේවත් උචිත නොවේ. කලිසමක් හැඳ පැමිණිම කිසිදු ගැටලුවක් නැත. මක් කිසාද යත් එය ඔවුන්ට වඩාත්ම ආරක්ෂිත ඇඳුම බැව් පුද්ගලිකව මාද පිලිගන්නා මතය බැවිනි. නමුත් ගැටලුව ඇත්තේ ඇතැම් තරුණියන්ගේ කලිසම් ඇන්දද පෙනෙන්නේ කිසිදු ඇදුමක් ඇඳ නැති සේය. එක්කෝ දනිස්සටත් උඩට ඇදි කොට කලිසමකි. තමන්ගේ විලි වසා ගැනීමටවත් ඇතැමුන්ට වුවමනවක් නැති හැටියකි. මේ ගැන මෙතනින් එහාට කතා කිරීමෙන් වැලකීසිටිමි. තීරණය ඔබට බාරය.

     සැම සිරිපා වාරයක්ම නිමා වන්නේ පොලිතින්, ප්ලාස්ටික් ආදී අපද්‍රව්‍ය ටොන් ගනනක් සිරිපා පුද බිම ඇතුලු ශ්‍රීපාඩ අඩවි අභය භුමිය තුල ගොඩ ගැසෙයි. මේවා ඉවත් කිරිමද බරපතල ගැටලුවකි. ඔබ ගෙන යන පුංචි ටොපි කොලයේ සිට බිස්කට් පැකට්, වතුර බෝතල් ආදී දෑ ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව විසි කර දමයි. එය ඔබට ඉතා පහසු දෙයක් වුවත් එකිනි එක එකතු වන මහා කුණු කන්ද අවසානයේ කරදරයක් වන්නේ මේ ස්ථානය බලා කියා ගන්න සේවක පිරිසට අවට ගම් වාසීන්ට පමණක් නොව මෙම උතුම් පුබ බිම තම නිත්‍ය වාසභුමිය කරගත් දහස් ගණන් ආවේණික හා සුලභ සත්ව ප්‍රජාවටද පොදුවේ බලපායි.

     වන්දනා කරැවන්ට තවත් මහා හිසරදයක් වී ඇත්තේ යන අතර මග ඉදිවී ඇති ආගමික ස්ථානයන්ය. එකල නම්  නල්ලතන්නියේන් බැද පන්සිල් ගෙන පිටත් වු පසු අපට හමු වන්නේ සුප්‍රසිද්ධ ජපන් පන්සල හෙවත් ජපන් සාම චෛත්‍යය පිහිටා ඇති විහාරය පමණකි. නමුත් මේ වනවිට විහාරයන් යැයි කියාගන්නා බොහෝ ස්ථාන ප්‍රමාණයක් මේ අතරමගදී අටවාගෙන ඇති අතර මේ හැම එකක්ම සැබැවින්ම උතුම් පරමාර්ථයෙන්ම පිහිටුවන ලද ඒවා දැයි සිතට පැණයක් ඇතිවේ. 

    මේ හැම එකකදීම වන්දනා කරැවන්ව බලෙන් වාගේ පන්සිල් ගන්වයි. අවසානයේ අතේ බලෙන්ම නූලක් බඳී. මෙය පිරිත් නූලක් යැයි ඔවුන් පැවසුවද මා එසේ නොකියන්නේ එය නිවැරදි පිරිත් නූලක් නොව ආකර්ශනීය ලෙස විවිධ වර්ණ ගන්වන ලද, හුදෙක් රැල්ලක් ලෙස වර්තමාන තරැණ තරැණියන් අතර ජනප්‍රිය නූලි බැඳීමේ කලාව දඩ මීමා කර ගනිමින් හුදෙක් මුදල් උපයාගැනීමේ පරම පිවිතුරැ චේතනාවෙන් ගෙන යන ව්‍යාපාරයක් නිසාය. බොහෝ විට මෙවන් නූලකි බලෙන්ම වාගේ අතේ බඳින අතර මිල රු 20ක් හෝ 50කි. මෙය ආධාරයක් නොව ව්‍යාපාරයක් බව නොදන්නා වන්දනාකරැවෝ බොහෝ පිරිසක් මෙයට අසුවේ. ඔබ නිවැරදි ලෙස වන්දනාවට සහභාගී වන්නේනම් අමුතුවෙන් ආරක්ෂාවක් අවශ්‍ය නොවේ. අනෙක් අතට දහසකුත් එකක් දුරාචාර වල නියැලෙන්නේ නම් නූලක් බැන්ද පමණින් කිනම් ආරක්ෂාවක්ද?

    අවසානයේදී සටහන් කරන්නේ මෙය කියවන ඔබ මෙවර සිරිපා වන්දනාවේ යන්නට අදහසින් සිටින වන්දනා කරැවෙකුනම්, තමන්ටන් අනෙක් අයටත් වන්දනා කටයුතු කිසිදු අපහසුවකින් තොරව සිදුකරීමට හැකි ආකාරයෙන් තම ගමන කරන ලෙසටය. හැකිනම් එම ගමන සඳහා රාත්‍රී කාලය යොදා ගැනීම ගමන් වෙහෙස අඩු වීමට හේතු වන උදෑසන ඉර සේවය සහ උදෑසන බුද්ධ පූජාවට සහභාගී වීමට හැකිනම් වඩාත් අගනේය. මේ අතරම ඔබ යන ස්ථානය පිළිබදව හරි අවබෝධයක් ඇතුව නිවැරදි ලෙස පිවිසීමත් පිටවීමත් සිදු කරමින් ඔබ කරන්නේ තවත් මහා කුසල කර්මයකි. 

(මේ හුදෙක් කතෘගේ අදහස් පමණයි. සංවාදයට විවෘතය)