ආදරය විරහව සහ කඳුල....

නෙතින් වැටෙන්නට වෙර දරන කඳුලු බින්දුව......

ඇයි මාමෙ එහෙම කලේ?

පින්තූරෙ:- ලහියා

ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා මුලු දවසෙම අප්පච්චිත් එක්ක හේනේ ඔට්ටු වෙලා හරිම මහන්සියෙන් ගෙදෙට්ට ආවෙ. 

අප්පච්චිටත් දැං මේ වැඩ කරන්නත් බෑ. 

අම්මත් ලෙඩ ගානෙ ඉඳගෙන වේලක් හරි බත් තම්බලා අපි හතරදෙනාගෙ බඩ පුරෝනවා.

දෙයියනේ කියලා පොතේ පතේ වැඩ ටික කරගන්න මට ඉතුරු වෙන්නෙ රෑට පත්තු වෙන කුප්පි ලාම්පුව විතරයි. 

අනේ දැං ඉතිං අද ඉඳන් ඒකත් අඩු කරන්න වෙනවා. 

බූමිතෙල් කාලක් ගන්න අප්පච්චිගෙන් කෝමද තව රුපියලක් හරි වැඩිපුර ඉල්ලන්නේ...  

        දැන් කෝමද අම්මේ මම දොස්තර කෙනෙක් වෙන්නෙ?

ආච්චිගෙ රෙද්ද


ඉන්නකං ආච්චි ඇන්දා
මැරුණට පස්සේ පෙට්ටගමේ තිබුණා
පස්සෙ ලිපගාව ජනේලේට තිරේ වුනා
බාසුන්හැලට  අත පිහදාන්න දුන්නා.
දැලි වලං අල්ලන්න ගත්තා
කාලෙකින් දරණුවක් වුනා.
ඉතුරු කෑල්ල ටොමියට ලැබුණා.

සමහරුන්ගේ ජීවිතත් ආච්චිගේ රෙද්ද වගේ කියල මට හිතුණා!!

෴සරසවි බිමේ සොඳුරු මතක සැමරුම්෴


මේ බිමෙන් සමුගන්න
තව ඇත්තේ දින කීයද?
දමායන්න බැරි දෙවල්
කොතරම් නම් මෙහි තිබේද?
ආදර කන්ද, හාවාගල
හිරිකටුඔය, සමනල වැව
ඉතින් ආයුබෝවන් සැමට
යන්නෙමි මා ඔබ අතහැර.......
(2000/2001  Social Sciences and Languages)
00/SL/175
2004/05/26 දින රීඩිමේ ලියු නිසඳැසකි.

(පරා)ජය

පින්තූරය ගත්තේ මෙතනින්
වසන්තයේ පෑල දොරකඩින්
නික්ම යන්නට තතනද්දී
දිටී ඔහු තව නොපිපි කැකුලක්
නේක බඹර තුඩු වැදී
මුකුලිතව ගිය කුසුම් ගොමුවේ....


ලොබ බඳියි සිත දෙගෙඩියාවෙන්
හැරපියා යනු නොහැකි සඳ හෙට
එක්ව යන්නට හඬගසනු බැහැ
කෙලෙස නම් ඇය දුරක් යන්නද
දෙදෙන දෙමගක යොමු වුණාවේ....!!

උපාධිය

පින්තූරෙ මෙතනින්

අවුරුදු වලින්ම හතරක්
සතියකට වියදම දාහක්
වන්දනාවක් වගේ ගමනක්
දෙනවලු අපිටත් උපාධියක්.....

අල්මාරිය පුරෝලා පොත්
කොම්පීටරේ ඩිස්ක් ෆුල්
ලිවුවලු එක්සෑම් හත අටක්
හොයපියව් දැන් ඉතින් ජොබ්!!

සමනල වැව් බිමේ ශෝකාන්තය


සමනල වැව ආයෙත් හිඳිලා
ආදර කඳු පහසින් තෙමී
වැව් තෙරට ගලා අවුදින්
සමනලිය සුන්දර කෙරූ
හිරිකටුඔයේ ආදර දියකඳ අද නෑ....

හරියට නුඹේ හිතත් ඒ වාගේ
වැව් තෙර හිඳ එදා
දියරැලි නැගෙනයුරු බලා
මිමිණු සුපෙම් හසරැල්
සෙනේ ගඟ වියලිලා
වැවි බිම සේම මා හද ඉරිතලා
වියලි වැව්තලේ හිඳිමි අද තනිවෙලා....
අනෝරා වැසි වැටී
පුරවාවි සමනලිය හෙට
පෙර සේම රැලි නැගේවි
එහෙත් මම??

නිවන් දකින්නට කලියෙන් ආයෙ හමුවෙමු!!!!


ඊයේ උදේ හසියා මට එවපු SMS එකකින් කියවුනේ කවදාවත්ම අහන්න බලාපොරොත්තු වන දෙයක් නෙමේ. අපේ සහෘද ඉලන්දාරි සහෝ උඹ අපි හැමෝගෙම බලාපොරොත්තු බිඳලා දාල යන්න ගිහින් කියල. ඒ පණිවිඩේ දුටු ගමන් මොහොතකට ගල් ගැහුණෙ කිසි දෙයක් හිතාගන්න බැරුව. අපි හැමෝම පතපු විදියට උඹව ගොඩදාන්න කැපවුනු, මහන්සි වනු හැමෝගෙම ඇස් වලට කඳුලු විතරක් ඉතුරු කරල අන්තිමට උඹ ඔහොම යන්න යාවි කියල අපි කවදාවත් හිතුවෙ නෑ. ඒත් අන්තිමට උඹ නොකියම යන්න ගියා. ආයෙත් දවසක නිවන් දකින්නට කලින් ඇවිත් යන්න වරෙන්!!!

මුවේ රැඳුනු සිනා
කඳුලු ගංගාවක් කොට
නෙතු අගින් ගලා යන දවසේ.....
එදා අප එක්ව ඇවිද ගිය සැමරුම්
මතකයන් ගොන්නක්ව 
වැලපේ....
අප සේම නුඹ පැතූ ලොව හැර දා
නිවන් යන්නට කලින් ආයේ....
තවත් දවසක එක්ව හිනැහෙමු
එතෙක් 
සුභ ගමන් මිතුරේ....



ඇයි කෙල්ලොන්ට එහෙම කරන්න බැරිද?

විභාගෙ නිසා පහුගිය ටිකේම පිස්සු හැදෙන විදියට නිදිමැරුවා. දෙයියනේ කියල ඊයෙ තමයි විභගෙ ඉවර වෙලා ගෙදරට ගොඩබැස්සෙ. දැං ඉතිං දවස් දෙක තුනක් නිදහසේ ඉඳල ආයෙ ඊගාව සෙමස්ටර් එකට ලෑස්ති වෙන්න එපැයි. නිදහසේ ඉන්න කිවුවට ඒකත් ෂුවර් නෑ අප්පා... විභාගෙ නිසා මග ඇරුණු අවුරුදු නෑ ගමන් ටික ඔන්න අම්මා ලෑස්ති කරගෙන. දැං ඉතින් මේ වැස්සෙ පලයල්ලකෝ නැ ගමන්..  :@

අද මේ ලියන්න හදන මාතෘකාව ගැන මතක් වුනේ විභාගෙට පාඩම් කරමින් ඉන්න කොට. ඒ දවස්වල අහපු පුංචි සිද්දියක් නිසා. ඒත් පාඩම් වැඩ ටික අස්සෙ වැඩේ එහෙමම කල් ගියානෙ. හරි වැල්වටාරම් ඇති. මෙන්න මේකයි කතන්දරේ. ඊයේ අපේ ගෝල්ඩ් ෆිෂ් මාලු යාලුවත් මේකට අදාල කාරණාවක් ගැන ලියල තිබුණනේ. ඔව් ඔව් ඒ ගැනම තමයි මේ ලියන්න හදන්නේ.

කොල්ලෙක්ට කෙල්ලෙක් ගැන හිතක් පහල වුණාම ඒ මේ අපේ රංග සහෝ කියන්න වගේ  කෙල්ලගෙන් අහන්න පුලුවන් (මං කියන්නෙ ආදර සම්බන්ධතාව ගැන හොඳේ. ඔයාල මේ වෙන එවුව මෙවුව ගැන හිතල  :p  ) . ඒක කිසි ගැටලුවක් නෑ. එක්කෝ කෙල්ල හා කියයි නැත්තං බෑ කියයි. ඒක්කෝ පොඩ්ඩක් ලත වෙවී ඉඳලා හා කියනවා.(වැඩි හරියක් කෙල්ලෝ ඉතිං එහෙමනේ. ඩිමාන්ඩ් :p ) හැබැයි ඕකේ අනික් පැත්ත වුනොත්? ඒ කිවුවෙ කෙල්ලෙක් ඇවිල්ල කොල්ලෙක්ට කිවුවොත් මං ඔයාට කැමතියි කියලා?

ඇයි කෙල්ලන්ට කොල්ලො ගැන හිත් පහල වෙන්නේ නැද්ද? එහෙම වුනොත් ඒක වැරදිද? (හෝව් පොඩ්ඩක් හෝව්. මම මේ කෙල්ලන්ට කඩේ යනව නේමේ හරිද  :D ) මේ වගේ සිද්දි තුනක් මම දැකල තියෙනවා. එකක් අර මාලු මගය කිවුව වගේම ජාතියේ ෆෝවර්ඩ් කෙල්ලෙක් අපේ යාලුවෙක්ගෙන් යාලුවෙන්න කෙලින්ම ඒකිම අහල තිබුණා. (කොල්ලනං හැන්ඩියා). අනිත් සීන් එකේදී තව කෙල්ලක් අපේ තව යාලුවෙක් ගැන අදහස තියං ඉඳිය සෑහෙන කාලයක්. ඒ ගැන ඌට විවිධ විදියට දැනෙන්න ඉඩ ඇරියා. යාලුවො මාර්ගයෙන් නොකිය කිවුව. හෙන අහිංසක කෙල්ලෙක්. හැබැයි අපේ එකා නෙමේ ඇහැක්වත් ඇරල බැලුවෙ. අන්තිමට වෙන කොල්ලෙක් ඒකි එක්ක යාලු වුණා. මේ සීන් දෙකම මම ඉස්කෝලෙ යන කාලෙ (මීට බොහෝ කාලෙකට පෙර  :D ) වුනේ. තව සීන් එකක් තියෙනව අපේම බැචියක්ගෙ. ඒ ගැන නං වැඩි විස්තර කියන්න බෑ. :D

ඇත්තටම මෙහෙම සීන් එකක් වුනාම අපි පුරුදු වෙලා ඉන්නෙ ඒ කෙල්ලට අපහාස කරන්න. "මහ වල් කෙල්ලෙක්". "පුදුම ඇම්මක්නෙ තියේන්නෙ"... ඔන්න ඔය වගේ එක එක අපහාස කතන්දර කියනව අර කෙල්ලන්ට. ඇත්තටම කෙල්ලන්ට ආදරේ ප්‍රකාශ කරන්න අයිතියක් නැද්ද? එහෙම කලොත් ඒකෙන් හැඟෙන්නේ කෙල්ල වල් කියන එකද? (මේ කියන්නේ ඔය බැඳපු ගෑනු ගැන එහෙම නෙමේ. මනුස්සය පැත්තක ඉඳිද්දි තරැණ හැන්ඩි කොල්ලන්ට බැල්ම දාන ලොකු අක්කල ගැන නං නෙමේ)

කොල්ලන්ට පහල වෙන ප්‍රේමනීය හැගීම් කෙල්ලොන්ට ඇතිවෙන්නෙ නෑ කියල කාටවත් කියන්න බෑනෙ. මමනං හිතන්නෙ උන්ටත් චාන්ස් එකක් තියෙන්න ඕන නේද තමන් කැමති කොල්ලෙක්ට ආදරේ ප්‍රකාශ කරන්න. තාමනං ඒ වගේ දේකට අවස්ථාවක් මේ වර්තමාන සමාජ රටාව තුල නෑ. මොකද අපේ රටේ සංස්කෘතිය සහ සමාජ රටාව වගේ ඔය බර බර වචන වලින් කියන දේවල් නිසා අපේ කෙල්ලො චාටර් වෙන්න බයයි. ඒ නිසා උන්ට බලං ඉන්න වෙනවා කොල්ලම ඇවිල්ල අහනකං. (හැබැයි ඉතිං මායම් දාල දැලට කොල්ලව අල්ලගන්න කෙල්ලොත් නැතුවම නෙමේ. ;)   නේද?)

ගොඩක් කෙල්ලො තමන් කැමති ජාතියෙ හීන කුමාරයෙක් ඇවිල්ල තමන්ව අස්සය පිටේ (නෑ නෑ සෝරෝ නෙමේ  :D) අරං යයි කියල බලා හිටියත් තමං බලාපොරොත්තු වෙන ජාතියෙ කොල්ලෙක් හැම කෙල්ලෙක්ටම ලැබෙන්නෙ නෑ. සමහරු බලා ඉඳල ඉඳල අන්තිමේදී ඔය කා එක්ක හරි සෙට් වෙනවා. ඒ අතිං කොල්ලො වාසනාවන්තයි. තමං හොයන ආකාරයේ කෙල්ලෙක්ගෙන් කෙලින්ම අහන්න චාන්ස් එක අපිට තියෙනවා. කෙල්ලො පවු.......

රෑ වැටුනු වල

මිතුර මම එදවස
නුඹේ දුක ඇසුවෙමි....
වදනකින් හෝ නුඹට
සැනසුමක් ගෙනාවෙමි....
නුඹට යන්නට වාරු ගන්නට
අත්වැලක් තැනුවෙමි.... 
එහෙත්,
නුඹ එයින් එතෙරව
උන් හා එක්ව,
මටම කෙනෙහිලිකම් කල අපූරුව....!!!!

෴අසරණකම කියන්නේ මේ වගේද කියල බලන්න෴

(2011.03.11 දින අනුරාධපුර දුම්රිය ස්ථානයේදී ගත් ඡායාරූපයක්)

                     මෙයාව දැක්ක වෙලාවෙ මටනම් ඇතිවුනේ ලොකු දුකක්. මේ විදියට ජීවත් වෙන එක මෙයාට මොන තරම් අමාරැ ඇතිද කියල මට ඒ වෙලාවෙ හිතුණා. මෙයාව දකින්න ලැබුණේ අනුරාධපුර ස්ටේෂන් එකේදි. අතේ තිබුන කැමරාවෙන් එවෙලෙම පොටෝ එකක් ගත්ත. ඒකට වුනත් දුකෙන් බලන් ඉන්නෙ. ලඟට අඬ ගැහුවට ආවෙනම් නෑ. සමහර විට මේ ඉරණම අත් වුනේ මනුස්ස සතාගෙම ක්‍රියාවක් නිසා හින්ද මනුස්සයොන්ට මෙයා බය ඇති. හැබැයි එයා කකුල නැති වුනත් ඒක බාධාවක් නොකරගෙන එතන හිටපු අනික් සගයො එක්ක අමාරැවෙන් උනත් හරි හරියට එහෙ මෙහෙ පැන පැන හරි දුව දුව තමන්ගෙ ජීවිතය ගෙවන එකනම් අත පය හොඳට තිබෙද්දිත් කම්මැලියො වගේ ඉන්න මිනිස්සුන්ටත් හොඳ කනේ පාරක් කියල තමයි මටනම් හිතුනෙ. 

          හැබැයි ඉතිං මනුස්සයෙක්ට අතක් පයක් කැඩුනම එයාලට විකල්ප තියෙනවා සලකන්න ඈයො, යන්න ඉස්පිරිතාල එහෙම තියෙනව. ඒත් මේ වගේ දෙයක් සතෙක්ට වුනාම උන්ට කාගෙ පිහිටක්ද? සමහර වෙලාවට ඒ නිසාම ඌට උගේ ජීවිතේ පවා නැතිවෙනවානෙ. අසරණ වුන සත්තුන්ට කීයෙන් කී දෙනාද සලකන්නෙ. එහෙම බැලුවම මනුස්සයෙක් වෙලා ඉපදෙන එක කොයිතරම් වාසනාවක්ද? 

ඒක එහෙම වෙන්නෙ ඇයි?



අතු පතර විහිද ගිය 
මහා විසල් තුරු ගොමුව ලඟ
පුංචි පැළයක්මි මම
කිසිවෙකුත් නොසලකන....
මහ ගසින් සෙවන ලැබ
ඔවුනටම ආ වඩන
පුංචි පැලයට කවදාක
කවුරුනම් සලකයිද....?

ජීවන බර

අනේ බුදු මහත්තයෝ
දෙනවද එක රුපියලක්....
ගන්න පොඩි දරුවට
කිරිපිටිපැකට් එකක්....
හාමතේ වැහැරුණු මගේ
දෙතනේ කිරි නැති නිසා....
 

නොසැලෙමි.....



එදවස,
    නුඹලාට පණ දෙවෙනි කොට සැළකුවෙමි....
    අත් නොහැර එක්ව සිටියෙමි....
ඒත් අද,
   නුඹලා සිතින් මා හැරදමා ඇත....
නමුත් නොසැලෙමි....
   මට මෙය අරුමයක් නොවන නිසාවෙන්....

අනේ මෙහෙමත් කාලකණ්නි!!!!


එග්සෑම් එක කට ගාවටම ඇවිල්ල තියෙද්දි වුනත් අද අහන්න ලැබුණු එක දුක හිතෙන කාරණාවක් නිසා මේක ලියන්න හිතුනෙ.කවුරු කොහොම කිවුවත් දැන් එන්න එන්නම අපේ මේ සුන්දර දිවයින විනාස වෙමින් යන බව අපි කවුරු වුනත් පිලිගන්න ඕනෙ දෙයක්. සංවර්ධනය වෙනව කියල භෞතිකව විතරක් සංවර්ධනය වුණාම ඇති කියල සමහරු හිතාගෙන ඉන්නව. ඒත් සමාජීය හෝ පුද්ගල ආකල්පමය සංවර්ධනයක් නැති ජාතියකට පැවැත්මක් නැහැ කියන එක මේ මිනිස්සුන්ට අවබෝධයක් නැති ගාන‍යි.

අද අහන්න ලැබුණ විදිහට අනුරාධපුරේ පැත්තක කැලැවක ගස් බරගානක් දැව හොරුන් කපල විනාස කරලා. තේක්ක  පලු වගේ වටින ගස් 200 ක් විතර කපල දාලලු. හේතුව ඉතින් මොකද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. ඉක්මන් සල්ලි හොයන්න මේ මෝඩ හරක් කරන වැඩ නිසා අවසානෙදි මේ රට කාන්තාරයක් වෙන එකනම් නුදුරේදීම වෙයි. අනික මේ කපන ගස්වලට යටවෙලා මැරෙන පොඩිගස් සත්තු ප්‍රමාණය කොයිතරම් විශාලද? මහ ගහක් වෙලා හැදෙන්න සෑහෙන්න කාලයක් යන නිසා මේ කපාගෙන යන වේගෙට කොහොමත් අලුතින් කැලෑ හැදෙන්නෙ නෑනෙ.

සංවර්ධන යෝජනා වලට කියල එහෙන් කැලෑ කපනවා. සමහර වෙලාවට ව්‍යාපෘතියට කොහෙත්ම අදාලත්වයක් නැති ප්‍රදේශ පවා විනාශ වෙලා ඒවයෙ තිබුණු වටින කියන ගස් වලට වෙච්ච දේවල් ඉතිං දන්නෝ දනිති. කොහොම කොහොම හරි අන්තිමට රටේ තියන කැලෑ ටික විනාශ වෙලා යනවා. ඒ ප්‍රශ්නෙ එතතින් නවතින්නෙත් නෑ. ඊට පස්සේ කෑ ගහනවා අලි ගමට එනවා. වැව් හිඳෙනවා. දේශගුණේ වෙනස් වෙනවා කිය කියා. අපේ රටේ බොහොමයක් පැතිවල තත්වය මේක තමයි.

බොහෝ වෙලාවට ඉතින් මේ දැව ජාවාරාම් වල පිටිපස්සේ ඉන්නෙ රට කරවන ලොකු ලොකු ඇත්තො හරි එයාලගෙ හයිකාරකම් අතට ගත්තු හෙන්චයියො හරි තමයි. ඒ නිසා ඒ අයට විරැද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නෙත් නෑනෙ.වැරදි කරපු මිනිස්සු එක ටෙලිෆෝන් කෝල් එකකින් එලියෙ. අන්තිමට නඩුත් නෑ බඩුත් නෑ. රටට කරන්න මිනිස්සුන්ගෙ ඡන්දෙන් පත්වෙලා ගිය ඈයොම මිනිස්සුන්ට ඒකටත් එක්ක හරියන්න ගම්වැසියෙක් ලී කෝටු කෑල්ලක් කපාගන්න හරි හරකෙක් හොයන්න හරි කැලේට වැදුනොත් අන්න ඉවරයි. අල්ලල නඩු දානවා. 

පොඩි මිනිහ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන නීතියම ලොකු මිනිහටත් ක්‍රියාත්මක කරවන්න පුලුවන් පාලකයෝ බිහිවුන දවසට මේ රට ආයෙ සුන්දර රටක් වෙයි කියල අපි බලාගෙන හිටියත් ඒ දවසනම් ආයෙ කවදාවත් එන එකක් නැහැ.

නුඹ වෙනුවෙන් වැටෙන කඳුලු තවමත් තෙතයි....

            අදට හරියටම අවුරුදු දෙකයි මල්ලියේ. ඒත් හැමදෙයක්ම හිනයක් වගේ. කවදාවත් බලාපොරොත්තු නොවුන දෙයක් ඒ විදියට කොහොම සිද්ද වුනාද? උඹ ඒ විදියට මාත් එක්ක එදා ගෙදරින් පිටවෙලා ආවේ ගෙයින් එලියට යන අවසාන වතාව කියල දැනුන නම් මං කවදාවත් ඒ ගමන එක්කගෙන යන්නේ නෑ. කවදාවත් නැතුව අම්මට කියල බත් කවාගත්තෙ...  හැම දෙයක්ම ස්ථිර නෑ කියල අම්මට උදේ පාන්දරම කියල වැඳල මාත් එක්ක ගෙදරින් පිටත් වුන උඹ ආයේ ගෙදර එන්නෙ නෑ කියල උඹටම දැනුනද මගෙ මල්ලියේ?
           මගේ යාලුවෙක් වෙනුවෙන් උදව් කරන්න උඹ ගිය ඒ ගමන උඹේ අවසන් ගමන කියල අපි කාටවත් යන්තම් හරි දැනුනනම් උඹ තාමත් අපි එක්ක. ඒත් අපේ අවාසනවාට අද අපි තනිවෙලා. "ඉක්මණින් ගිහිල්ල එන්නම් අයියෙ" කියල යන්න පිටත් වෙලා ආපහු හැරිල මගේ දිහා බලල උඹ ඒ යන්නම ගියේ අන්තිම වතාවට කියල ඇයි කාටවත් මට කියල දෙන්න බැරි වුණේ. මම යන්න හදපු ගමන මම වෙනුවට උඹ ගියේ යන්නම යන්න කියල උඹ දැනන් හිටියද මල්ලියේ? අකාරුණික හදවත් ඇති මිනිසුන්ගෙ නොසැලකිල්ලෙන් අන්තිමට උඹ ජීවිතෙන් වන්දි ගෙවුවා. හැමදාකම ඔය මූණෙ පිරිල තිබුණු හිනාව ඒ විදියට අතරමගදි පරවෙලා ගියේ අනිත්‍ය නිසා කියල හැමෝම කිවුවට එහෙම වුනේ ඇයි කියල මං හිත හදාගන්නෙ කොහොමද මගේ මල්ලියෙ?
           මගේ මිනියට කර තියන්න හිටපු උඹේ මිනියට කරගහන්න මට සිද්ද වුනේ අපි හැමෝම එකතු වෙලා කරගත්ත පවකට වෙන්න ඇති. පුංචි කාලෙ ඉඳන් අයියේ අයියේ කිය කිය මගේ පස්සෙන් දැවටිලා හිටපු උඹේ ලස්සන මූන ඒ විදියට පොඩිවෙලා තියෙනව දකින්න තරම් අයිය කෙනෙක් අවාසනාවන්ත වුනේ ඒ පව නිසා වෙන්න ඇති. අපිව දාලා ගිය දවසේ උඹ වෙනුවෙන් අඬපු නැති මුහුණක් කවුරුත් දැක්කේ නෑ. හැමෝම එක්ක මමත් හදවතින් හඬා වැටුණා. පස්සෙන් පහුවෙද්දි  මං අඬපු කඳුලු සමහර අයට විහිලුවක් වුනත් උඹ නැති පාලුව මකන්න ආයේ කාටවත් බෑ කියල මං වගේම උනුත් දැනගෙන ඉන්න ඇති. උන්ට මගේ කඳුලු මකන්න බැරි වුණේ ඒ නිසා වෙන්න ඇති.
         උඹ ආයෙ කවදාවත් මේ භවයෙදි අපි අතරට එන්නෙ නෑ කියල හිත හදාගන්න අපි හැමෝම උත්සහ කලත් හැම වෙලාවෙම ඒ උත්සහය පරදින්නෙ අතීතය ලේසියෙන් මරල දාන්න බැරි කමේ වරදටද, එහෙමත් නැත්තම් උඹ නැති කමින් පාලුවෙලා තියෙන අපේ ජීවිත වල දැනෙන හිස්බව නිසාද කියල තාමත් හිතාගන්න බෑ. 
ඒත් මගේ මල්ලියේ, 
                             කඳුලු තාමත් තෙතයි!!!!
(උඹයි මමයි හැමදාමත් පැතුව වගේ මේ අම්ම තාත්තගේම දරුවො වෙලා අපි අයෙත් හමුවෙමු.)

ඩෙනිම.. දුප්පත් පෝසත් ඔබට මට අපි හැමටම....


ලොකු ලොකු අය ඔඩෙල් එකෙන්

අපි ගන්නෙ ටවුමෙ කඩෙන්‍

පොඩි මිනිහට පිටකොටුවෙන්

දුප්පතාට පෝසතාට - කාට වුනත් නෑ වෙනසක්.... 

පාට පාට වැඩ අල්ලල- ඒහෙන් මෙහෙන් කෑලි දාලා

ගැහැණු ළමෝ හිරට අඳී- කොල්ලො මාස ගණන් අඳී

කවුරු කොහොම ඇන්දත් මෙහි - අගය කියා නිම නොවෙතී...

ඉස්කෝලෙ කාලෙ ආදරේ......

කඳුලු පිරී නෙතු පියන් සැලේ
හද රිදුම් දෙයි වේදනා....
ලතැවුල් මැවේ අද මේ මාවතේ
කිමද මා තනිවී.......


සමනල් සිහින දුටුවා එදා
දුර ඈත පාසල් වියේ පෙරදා....
පියමැන ගියා මතකයි
සිහිනෙන් වගේ....


මල් සුවඳ පිරි මා පැතූ ලෝකේ
විසුණුව ගියේ සදහට....
නුඹ කෙරේ බැඳි සෙනෙහේ මගේ
කඳුලක් වෙලා....

..::අතීතය::..


ආයෙ කවදාවත්ම එන්නෙත් නැති

ආපහු කවදාවත් යන්නත් බැරි

එත් මතක්වෙද්දි ආස හිතෙන

සමහර වෙලාවට කඳුලු පිරෙන....

දේදුන්නේ පාට හතෙන්ම

පාට පාට කොලවල ඇඳපු

අපැහැදිලි සිතුවම් වගේ

සිත පුරාම විසිරුණු

සුන්දර අසුන්දර

මතකයන් ගොන්නක්.....

ඇගේ උපන් දිනය දා..........

Instant කොමෙන්ටුව

හායි!!
හායි හායි!!!
ඉතින් කොහොමද?
වරදක් නෑ අනේ. ඔයා?
මමත් හොඳින්. ඒක නෙමේයි. මම අලුත් පෝස්ට් එකක් ලිවුවා.
ආනේ ඇත්තද? කෝ එවන්න ලින්ක් එක :-)
ආ ඉන්න. හරි මෙන්න. www.abcdefghijk.blogspot.com
ම්ම්ම්ම්ම්....... හරි ඔන්න මං කමෙන්ට් කලා.
මොකක් මේ තරම් ඉක්මණට. කෝ බලමු. හපෝයි!!! මේ මොකක්ද? "ෂා මරුනෙ. නියමයි" කියල දාල තියෙන්නෙ" පෝස්ට් එක කියෙවුවද?
වෙලාවක් නෑ අනේ. ඇයි මොකද අවුල?
පොස්ට් එක ලිවුවෙ ඊයෙ ඇක්සිඩන්ට් එකින් මගෙ හොඳම යාලුව මැරුණ කියල......